ක්‍රිකට් ක්‍රීඩකයින් දේශපාලනයට පිවිසීම සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා කතාබහට ලක්වුණා. පසුගිය දිනෙක මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වූ කුමාර් සංගක්කාරද පවසා සිටියේ ඔහු දේශපාලනයට පිවිසෙන බවට පැතිරයන කටකතා අසත්‍ය ඒවා බවයි.
එමෙන්ම ශ්‍රී ලංකා පිලේ විශිෂ්ට දඟපන්දු යවන්නෙකු වූ මුත්තයියා මුරලිදරන්ද පසුගිය දිනෙක පුවත්පතකට පවසා සිටියේ දේශපාලනයට පිවිසීමෙන් ක්‍රීඩකයන්ගේ ප්‍රතිරූපයට හානියක් වන බවයි.
ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ආයතන කිහිපයක ප්‍රධානත්වයෙන් 27 වැනිදා විහාරමහාදේවි උද්‍යානය අසල සංවිධානය කර තිබූ සෞඛ්‍යාරක්‍ෂිත ආහාර උළෙලට සහභාගී වෙමිනුයි.
එහිදී ඉදිරිපත් කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා මෙසේ ද කීය.
ප්‍රශ්නය - ඔබට දේශපාලනයට එන්න කියලා ආරාධනා ලැබුණාද?
මුරලි - මට ආරාධනා ලැබුණත් මම ඡන්දය ඉල්ලන්න ඉදිරිපත් වන්නේ නැහැ. දේශපාලනය කිරීමෙන් ක්‍රීඩකයන්ගේ ප්‍රතිරූපයට හානි වනවා. ඒ නිසා මම ඡන්දවලට කොයි පක්‍ෂයකින්වත් එන්නේ නැහැ.
ප්‍රශ්නය - සුපිරි ක්‍රීඩක කුමාර සංගක්‌කාර දේශපාලනයට එන බවට කතාවක් තියෙනවා. ඒ ගැන ඔබ දන්නවාද?
මුරලි - කුමාර සංගක්‌කාර මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ නැහැ. එයා මේ වන විටත් විදේශ රටක් සමඟ ක්‍රීඩා කිරීමට වසර දෙකක ගිවිසුමක් අත්සන් කරලා තියෙන්නේ. සංගක්‌කාර දේශපාලනයට එනවා කියන එක කතාවක් පමණයි.