ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ නොකර පක්ෂයට සහයෝගය ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව වාර්තා වනවා.
ඒ ඊයේ රාත්‍රියේ දෙදෙනා අතර පැවති සාකච්ඡාවේදී බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ. බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ නිවසේ ඊයේ රාත්‍රීයේ පැවති සාදයක් අතරතුර රාත්‍රී 9.30 ට පමණ වෙනත් ස්ථානයකට හිටපු ජනාධිපතිවරයා පිටත්ව ගොස් තිබෙනවා. ඒ කථානායක නිල නිවස වෙත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
විනාඩි 45 කින් පසුව හිටපු ජනාධිපතිවරයා යළිත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ නිවසට පැමිණ තිඛෙනවා. එහිදී ජනාධිපතිවරුන් දෙදෙනා පිළිබඳව සිදුකෙරුණු සාකච්ඡාව සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් කළ විමසීමකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ බවයි වාර්තා වන්නේ.
තමන්ට මහමැතිවරණයට තරඟ නොවදින ලෙසත්, පක්ෂයට සහයෝගය ලබාදෙන ලෙසත් ජනාධිපතිවරයා ඉල්ලා සිටි බව එහිදී හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ වුවත් එහිදී හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් තීරණය කිරීම දැන් ප්‍රමාද වැඩි බවයි. සියලු බලවේග තමන් සමඟ ඇති බවත් එම බලවේග ගන්නා තීන්දු තීරණ සමඟ කටයුතු කිරීමට සිදුවන බවයි එහිදී හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ.
කෙසේ වෙතත්, ප්‍රසන්න රණතුංග ප්‍රධාන අමාත්‍යවරයාගේ නිවසේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහන් කළේ එම නිවසේ පැවති සාදය සඳහා සන්ධාන මන්ත්‍රීවරුන් 87 දෙනෙකු සහභාගි වී සිටි බවයි.
එමෙන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයෙන් ඔඩොක්කුවේ නැලවෙන පක්ෂයක් නොවිය යුතු බව ජනාධිපතිවරුන් දෙදෙනාගේ සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රසන්න රණතුංගගේ නිවසට පැමිණි හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
මේ පිළිබඳ නවතම ලිපිය පහතින්...
මහින්ද, ජනපති මෛත්‍රී හමුවෙලා නෑලු