Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
20
ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද ඔබට කොහොමද ? - හිරු ලග්න පලාඵල

- ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද ඔබට කොහොමද ? - හිරු ලග්න පලාඵලHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

32 Views

බුද්ධ වර්ෂ 2559ක් සහ ශකරාජ්‍ය වර්ෂ 1937 ක් හෙවත් ව්‍යවහාර වර්ෂ ක්‍රි .ව. 2015 ක් වූ අප්‍රේල් මස 14 වෙනි අඟහරුවාදා අපරභාග 1.47 ට සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟින් ආරම්භ වූ අලුත් අවුරුදු උදාවත් සමඟ ඒ ඒ ලග්න වලට හිමි වන පලාඵල තත්වයන් පිළිබඳ මාධ්‍යවේදී, රාජ්‍ය සම්මානලාභී ලේඛක, ඉන්දියානු උපාධිධාරී, ජ්‍යෝතිෂ්‍ය ශිරෝමණී, දේශාභිමානී නිශාන්ත පෙරේරා මහතා හා ප්‍රවීන ජ්‍යෝතීර්වේදී පානදුරේ ප්‍රශාන්ත් මලවිගේ මහතාගේ විග්‍රහයයි මේ...




මේෂ ලග්නය

නිශාන්ත පෙරේරා මහතා

මේෂ ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති වගේම රවී, බුධ, බ්‍රහස්පති බලවත් වෙලා තමයි මේ අලුත් අවුරුද්ද ඔබට උදා වෙන්නෙ. විශේෂයෙන් මේෂ ලග්න හිමියන්ගේ මුල්‍ය තත්වය ගැන සලකලා බලද්දී කරගෙන ආපු කටයුතු වගේම කරන්න බලාපොරොත්තු වන කටයුතු වලට වඩා ඔබ ස්වාධීනව කටයුතු කරන කෙනෙක්නම් ඒ ජයග්‍රහණ ඔබට පහසුවෙන් විජයග්‍රහණ බවට පත් කර ගන්න පුළුවන්. අමතක කරන්න එපා ජුලි මාසේ 14 වෙනිදායින් පස්සේ ඔබට යාන වාහන ගේ දොර පිලිබඳ යම්කිසි අලුත් බලාපොරොත්තු සමුදායක් එකතු කරාවි. ඒ බලාපොරොත්තු අනිවාර්යයෙන්ම ඔබට සාක්ෂාත් කරගැනීමේ ශක්තියත් ලැබෙනවා. ගෘහ ජීවිතය දිහා දකිද්දී බොහෝ විට වසර ආරම්භයේ සිටම පවුලේ අය සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ ශක්තිය ගෙනත් දෙනවා. හැබැයි අමතක කරන්න එපා අන් අයගේ මැදිහත්වීම් මතින් තමන්ගේ පවුලේ සමගියට, සහජීවනයට මේ කරදර බාධා ගෙන දෙන්න පුළුවන්. ඒ වගේම තමයි රැකි රක්ෂා ආශ්‍රිතව පවා අන් අයගේ අඩුපාඩු දැක්කත් මේ වසරේ ඒ දේවල් පෙන්නලා දෙන්න යන්න එපා. අස්ථාන චෝදනා වගේම නිහඬ සතුරු කරදර බාධා ඇති වෙන්න පුළුවන්. වසර ආරම්භ කරන්නේ රාහු 6 වැන්නේ ගමන් කරද්දී ඒ නිසා තෙල් හා සීනි සහිත ආහාර පාලනයකින් යුතුව ගන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි සෙනසුරුගේ ලග්න අෂ්ටම ඒරාෂ්ටකයකුත් පැවතීම නිසාවෙන් වම් අත, වම් පාදය ආශ්‍රිතව යම් යම් ආබාධතා සිදුවීමේ ඉඩකඩ වැඩියි. උස් ස්ථාන වලට නගිද්දී, තෙත ස්ථානවල ගමන් කරද්දී කල්පනාකාරී වන්න නම් මේෂ ලග්න හිමියන් මේ වසරේ අමතක කරන්න එපා. තිබෙන්නාවූ අහිතකර ග්‍රහ රටාව මගහැරගන්න මාසේ පලවෙනි සෙනසුරාදා දවස්වල උදැසන 6.50ට ප්‍රථම ඔබේ නිවසේ බස්නාහිර දිශාවේ කපුටන්ට එළගිතෙල් මිශ්‍ර බතක් දෙන්න. හැකියාවක් තිබේ නම් එකී සෙනසුරාදා දවස්වලම අතපය වාරු නැති යාචකාදීන්ට ආහාර පාන ස්වල්පයක් දන් දීලා බලන්න. එසේ ඔබ කිරීම තුලින් මේ වසරේ ඔබට එන සාර්ථකත්වය වලක්වන්න නම් කාටවත් බැරිවෙයි.


ප්‍රශාන්ත් මලවිගේ මහතා

සමාජය තුල කැපී පෙනෙන ආකාරයට කටයුතු කල හැකි වන කාල පරිච්ඡේදයක් . ධෛර්ය සම්පන්න බව කිසිවෙකුට නොනැමී කටයුතු කිරීමේ හැකියාව ඇතිවන කාල පරිච්ඡේදයක් . තම ගෞරවය ආරක්ෂා කරගෙන ඉදිරි කටයුතු ඉතාමත් බුද්ධිමත් ආකාරයට වගේම අවංකව තීරණ ගන්න කාල පරිච්ඡේදයක් වනවා . අධ්‍යාපනික කටයුතු වල ඉහල ප්‍රගතියක් දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් .කරන ඕනෑම කටයුත්තක් සිතට එකඟව සහ අවංකව කරන නිසා ඔබගේ අරමුණු බොහොමයක් දුරට සාර්ථකත්වයට පත් වෙනවා .විශේෂයෙන්ම තම ගෘහ කටයුතු වල ඉහල දියුණුවක් උසස් ප්‍රගතියක් වගේම රැකියාමය කටයුතු වල වෙනදාට වඩා වගකීම් , බලතල වැඩිවන කාල පරිච්ඡේදයක් . ව්‍යාපාරික ක්ෂේත්‍රයක ඔබ නිරත වන්නේ නම් යහපත් උසස් වෙනස්කම් වගේම නව ව්‍යාපාරික කටයුතු සැලසුම් කිරීමට එවැනි කටයුතු ආරම්භ කිරීමට ඉතාමත් යෝග්‍ය කාල පරිච්ඡේදයක්. විවාහය සම්බන්ද තීරණ වලදී නම් ඔබ කල්පනාකාරීව සහ බුද්ධිමත්ව කටයුතු කිරීම වැදගත් වෙනවා . එවැනි කටයුතු වලදී ඔබ පමණට වඩා අන්‍යයන් පිළිබඳව විශ්වාසය තබා කටයුතු නොකිරීමටත් සිහි තබාගත යුතුයි . නව වෙනස්කම් ජීවිත තුල ඇතිවන කාල පරිච්ඡේදයක් වගේම ඔබට යහපත් මිත්‍ර සම්බන්ධතා හිතවත්කම් තව දුරටත් වැඩිදියුණු වන කාල පරිච්ඡේදයක් වනවා .තම ගෙදර දොර කටයුතු වල නව දියුණුවක් ඇතිකර ගැනීමට ඔබ යොදන යහපත් උපක්‍රම සාර්ථකත්වයට පත් වෙනවා .විශේෂයෙන්ම මුත්‍රා උෂ්නාධික රෝග ශීර්ෂගත රෝග තත්වයන් පිළිබඳව වැඩි දුරටත් කල්පනාකාරී වීම ඉතා වැදගත් වනවා . ජය අංකය වශයෙන් අංක 5 ත් ජය වර්ණය වශයෙන් සුදු වර්ණයත් හඳුන්වන්නට පුළුවන්.


වෘෂභ ලග්නය

නිශාන්ත පෙරේරා මහතා

වෘෂභ ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති ලග්නගතව යෝගකාරක සෙනසුරු 7 වැන්නත්, රවි, බුධ, කුජ 12 වැන්නෙත් ගමන් කරද්දී තමයි වෘෂභ ලග්න හිමියන්ට මේ අවුරුද්ද උදා වෙන්නෙ. මේ වසරේ වෘෂභ ලග්න හිමියන් වෙනදාට වඩා බාහිර අලංකාරය වෙනුවෙන් තමයි වැයවීම් ඇති කරන්නේ. බොහෝවිට ඔන්න හැඩට වැඩට අදින්න පළදින්න වගේම සුවඳ විලවුන් වගේ දේවල් වලටත් ටිකක් වැය පාර්ශවය වැඩි කරනවා. නිසි මූල්‍ය කළමණාකාරීත්වයකින් යුතුව කරන්නනම් අමතක කරන්න එපා. ඒ වගේම තමයි බොහෝවිට ආයෝජන කටයුතු වලදී රැවටීම් මුලාවේ වැටීම් වැනි තත්ත්වයන් වලට හසුවීමේ ඉඩකඩත් ටිකක් වැඩියි. ඒ නිසා ඔන්න විදේශ ගමන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම තමයි ඥාණාන්විත පියවර වන්නේ. බොහෝවිට පවුලේ සමගියට සහ සහජීවනයට යම් යම් බාධා කරදර ඇති කරනවා. මොකද ඔබ මේ වසර තුල තමාගේ කටයුතුවලට වඩා අන් අයගේ කටයුතු කෙරෙහි වෙහෙස මහන්සි වීම නිසාවෙන් පවුලේ අය මවලා තිබෙන්නාවූ හොඳ හිත පළුදු වෙන්න පුළුවන්. ඒ නිසා ඔන්න කටයුතු කරද්දී සමබරව සැලසුම් සහගතව කටයුතු කරන එක තමයි වඩාත් වැදගත් වන්නේ. ඒ වගේම තමයි ප්‍රතිෂක්තීකරණයට වෘෂභ ලග්න හිමියන්ට ටිකක් අහිතකර තත්වයන් ගෙන දෙනවා. සෙම්දෝෂ තත්වයන් පපුවට, හිසට, අහිතකර බලපෑම් ගෙන දෙන්න පුළුවන්. ඒ නිසාවෙන් මතක තබාගන්න අවේලාවේ ස්නානය කිරීම මේ වසරේ වෘෂභ ලග්න හිමියන්ට එතරම් යහපත් වන්නේ නැහැ. අමතක කරන්න එපා ගංගා, ඇළ, දොළ ආශ්‍රිතව ස්නානය කිරීමේදී ප්‍රවේශම් වුනොත් අනිවාර්යයෙන්ම ඔබට තිබෙන බාධා කරදර පහසුවෙන්ම ජයගන්න පුළුවන්. ඔබ සිකුරුගේ මහ දශා, අතුරු දශා ගතකරන කෙනෙක්නම් අනිවාර්යයෙන්ම 2015 නව වසර ඔබට සෞභාග්‍ය සම්පන්න වසරක් බවට පහසුවෙන්ම පත්කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වෘෂභ ලග්න හිමියන්ට මේ තිබෙන්නාවූ අහිතකර තත්වය මගහරවා ගන්න හැකියාවක් තිබේනම් ගිලන්ව ඇති භික්ෂුවකට හෝ පුජ්‍ය පක්ෂයේ අයට සිකුරාදා දවස්වල බෙහෙත් ඖෂධ, ආහාර ස්වල්පයක් දන් දෙන්න පුළුවන් වුනොත් අනිවාර්යයෙන්ම ඔබටත් මේ උදා වන්නාවූ වසරේ සුභපල පහසුවෙන්ම ලඟා කරගන්න පුළුවන්.

ප්‍රශාන්ත් මලවිගේ මහතා

බාහිරව ලැබෙන උසස් උපකාර සහ සහයෝගය ඔබ හිතුවටත් වඩා උසස් ආකාරයෙන් ලැබෙන කාල පරිච්ඡේදයක්. අන්‍යන් කාලයෙන් ශ්‍රමයෙන් ධනයෙන් ඔබට නොමසුරුව උපකාර කරන කාල පරිච්ඡේදයක්. හොඳින් හෝ නරකින් ස්වකීය අදහස් හා අරමුණු මුදුන් පමුණුවාගත හැකිවන නිසා සිතේ සතුට වෙනදාට වඩා ඇතිවනවා නමුත් වෙනදාට වඩා ක්‍රියාශීලී බවකින් යුතුව කටයුතු කරන්න ඔබට පුළුවන්.අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. විශේෂයෙන්ම ඔබ උසස් අධ්‍යාපනික ක්ෂේත්‍රයක නිරතවන කෙනෙක් නම් ඔබගේ අරමුණු සිතුවාටත් වඩා සාර්ථක වේ.මිල මුදල් සම්බන්ධ කටයුතු වලදී නම් ඔබ ඉතාමත් කල්පනාකාරී විය යුතුයි. අනවශ්‍ය වියදම් වැඩිපුර පෙන්නුම් කරන කාලයක්. එමෙන්ම තම ගෞරවය ආරක්ෂා කරගැනීමට අත දිගහැර වියදම් කිරීමටද සිදුවේ. එනිසා ඔබේ ආදායම සහ වියදම සමතුලිතව පවත්වාගන්නා අපේක්ෂාවෙන් යුතුව අලුත් අවුරුද්ද ආරම්භයේ සිටම කටයුතු කරයි නම් ඔබට අමතර මුදලක් ඉතිරි කරගැනීමටද හැකි වේ.සහජ කුසලතාවයන්,දක්ෂතාවයන් ඔබට උසස් ලෙසින් ඔපනංවාගතහැකි කාලයක්. ඔබ යෙදෙන ඕනෑම ක්ෂේත්‍රයක ඔබේ හැකියාව සහ දක්ෂතාවය තව දුරටත් වැඩි දියුණු කරගැනීමේ අධිෂ්ඨානයක් සිත තුල ඇතිවන කාල පරිච්ඡේදයක්. ලේ ධාතුව ආශ්‍රිතව ඇතිවන ඌෂ්නාදික රෝග විශේෂයෙන් සමේ රෝග,අක්ෂිගත රෝග වලින් ඔබ පීඩා විඳින්නේ නම් තව දුරටත් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරමින් තම සෞඛ්‍ය  පිලිබඳ කල්පනාකාරීව කටයුතු කිරීමත් ඉතා වැදගත්. ඔබේ ජය අංකය ලෙස අංක 9 ත්,ජය වර්ණය ලෙසින් වෛවර්ණ පැහැයත් හඳුන්වන්න පුළුවන්.


මිථුන ලග්නය

නිශාන්ත පෙරේරා මහතා

ලග්නාධිපති රාජ්‍යකාරක රවී අඟහරු සමඟ 11 වැන්න වූ අයස්ථානයේ ගමන් කරද්දී බ්‍රහස්පතිත් බලවත් වෙලා තමයි මිථුන ලග්න හිමියන්ට මේ අවුරුද්ද උදා වන්නේ. ලග්නාධිපතිත් වගේම 11 වැන්නාධිපති 11 වැන්නේ සිටීම ඔන්න මිථුන ලග්න හිමියන්ට ප්‍රබල ධනයෝග උදා කරන කාලයක්. ඒ වගේම තමයි අමතක කරන්න එපා අතරමැදි ව්‍යාපාර ආදියෙනුත් තමන්ට විශාලවූ ලාභ ප්‍රයෝජන අත්කරගන්න පුළුවන් අවුරුද්දක් තමයි උදා වෙලා තියෙන්නේ . හැබැයි ඔබගේ අධික අනුකම්පාව, දැඩි පරිත්‍යාගශීලීත්වය අනුන් පමණට වඩා විශ්වාස කිරීම වැනි තත්වයන් නිසා බොහෝවිට අන්න ඒ ලාභ ප්‍රයෝජන අවම වීමේ ඉඩකඩක් තියෙන නිසා මිථුන ලග්නයෙන් උපන් ඔබ වඩාත් බුද්ධිමත්ව කටයුතු කිරීම තමයි වඩාත් වැදගත් වන්නේ. ගෘහජීවිතය ආශ්‍රිතව ගත්තයින් පස්සේ බොහෝවිට කාලයක පෙර තිබුන යම්කිසි ආරවුලක් ඔන්න මේ වසරේ නැවත නැගී සිටීමක් ඇති කරන්න පුළුවන්. අයිතිවාසිකම් පිළිබඳව ගැටළු පවා ඇතිකිරීමට ඉඩ තියෙනවා. බුද්ධිමත්ව ඒ වගේම උපේක්ෂා සහගතව කටයුතු කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඒ නිසා අමතක කරන්න එපා ඥාතීන්, අසල්වාසීන් සමඟ හවුලේ කරන කටයුතු නම් මේ වසරේ ඔබට යහපත් තත්වයක් නෙමෙයි ගෙන දෙන්නේ . සෞඛ්‍ය අතින් ගත්තට පස්සේ, සෙනසුරු 6 වැන්නේ ගමන් කිරීමත්, අස්ථි ආශ්‍රිත දෝෂ තත්ත්ව ඇතිකිරීමේ ඉඩකඩ තියෙනවා. අත් පා ආශ්‍රිත සුළු හිරිවැටීම් ඇතිකිරීමකදී පවා, ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තොත් මිථුන ලග්නයෙන් උපන් ඔබට සෞඛ්‍ය පීඩා ගෙනදීමේ ඉඩකඩ පහසුවෙන්ම මගහරවාගන්න පුළුවන් වෙනවා. හැකියාවක් තියේනම් සාමණේර භික්ෂුවකට හෝ අධ්‍යාපනය ලබන වයසේ සිටින පූජ්‍ය පක්ෂයේ අයට පොතක් පතක්, චොකලට් එකක්, ඇපල් ගෙඩියක් වගේ දෙයක් තමන්ට හැකි බදාදා වගේ දවසක දෙන්න පුළුවන් වුනොත් අනිවාර්යයෙන්ම කිරියෙන් පැණියෙන් ඉතිරෙන වසරක් ඔබට පහසුවෙන්ම පත් කරගන්න පුළුවන්.

ප්‍රශාන්ත් මලවිගේ මහතා

මිථුන ලග්න හිමි ඔබට විවෘතව තම අදහස, මතය තුලම කටයුතු කළහැකි සේම අන්‍යයන්ද ඔබගේ අදහසට, මතයට නතු කරවාගෙන කටයුතු කළහැකි කාල පරිච්ඡේදයක්. අතපසු වූ බොහෝ කටයුතු ක්‍රමාණුකූලව නිවැරදි කරගැනීමට හැකිවන අතර රැකියා කටයුතු වල මෙතෙක් පැවති බාධකද ඉවත්වේ. ඔබ නව රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටියි නම් ඒ කාරණයද යහපත් ලෙසින් ඉටු කරගැනීමට ඔබට හැකියාව ලැබේ. එමෙන්ම ඉතා බුද්ධිමත්ව, කල්පනාකාරීව සහ සැලසුම්සහගතව අනාගතය ගැන සිතන නිසා ඔබගේ බොහෝ අරමුණු සාර්ථකත්වයට පත්වේ. බාහිර පුද්ගලයන් සමඟ කරන කටයුතු වලදී ඔබගේ ඥානාන්විත ගුණය නිසා ඔවුන්ගෙන් සිදුවන අලාභ,පාඩු අඩුකරගෙන වාසි සහ ලාභ වැඩි කරගත හැකි කාල පරිච්ඡේදයක්. පැරණි හිතවත්කම් තව දුරටත් ශක්තිමත් වන අතරම නව හිතවත්කම් ඇතිවේ. එමෙන්ම ස්ථීර,සාර්ථක,යහපත් තීරණ ගන්නා කාල පරිච්ඡේදයක් ලෙසද එළඹෙන කාලය පෙන්නුම් කෙරේ. තැන්පත් ධනයේ විශේෂ වර්ධනයක්ද  අපේක්ෂා කල හැකියි. එලෙසම ඔබගේ ව්‍යාපාරික කටයුතු වල නව දියුණුවක් වෙනුවෙන් යොදන විශේෂ ආයෝජනයක් ඔබට වාසි සහගත බව පෙන්නුම් කෙරේ.නව තීරණ ගැනීමට,නව කටයුතු ආරම්භ කිරීමට විශේෂයෙන් ප්‍රේමය,විවාහය,ආදරය සම්බන්දව තීරණ ගැනීමටද ඉතාමත් යෝග්‍ය කාල පරිච්ඡේදයක්. සෙම් රෝග,ජලය ආශිතව ඇතිවන රෝග තත්ව විශේෂයෙන්ම මුත්‍රා අඩස්සිය වැනි රෝග තත්වයකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්වය පිලිබඳ වැඩිදුරටත් සැලකිලිමත් වීම ඉතා යහපත් වේ. ජය අංකය ලෙස අංක 1ත්,ජය වර්ණය ලෙස කහ පැහැයත් හඳුන්වන්නට පුළුවන්.


කටක ලග්නය

නිශාන්ත පෙරේරා මහතා

කටක ලග්නයෙන් උපන් ඔබේ යෝගකාරක බ්‍රහස්පති, ලග්නගතව බලවත් වෙලා, ඒ වගේම අඟහරු, රවී කේන්ද්‍රගත බලයෙන් වගේම දිග්බලයෙන් 10 වැන්නේ ගමන් කරද්දී තමයි ඔන්න අලුත් අවුරුද්ද කටක ලග්න හිමියන්ට උදා වෙන්නේ. මූල්‍ය ශක්තියට නම් ඉතාමත් හොඳයි. පහුගිය කාලේ තිබුනාවූ ආර්ථික ගැටළු නිරාකරණය කරගන්න කටක ලග්න හිමියන්ට අනිවාර්යයෙන් අවශ්‍ය ධෛර්ය ශක්තිය ලැබේවි. ඒ වගේම තමයි ඔබ නීති කරදරයක් ආශ්‍රිතව පීඩා වින්දානම් ඔන්න ඒ සඳහා නිසි මාර්ගෝපදේශකත්වය වගේම තිබෙන්නාවූ කරදර බාධා නිදහස් කරගන්නත් කටක ලග්න හිමියන්ට ඉතාමත් ශුභයි. ගෘහ ජීවිතය ආශ්‍රිතව දකිද්දී හැබැයි වෙන වසරවලට වඩා ටිකක් කාර්යබහුලත්වය වැඩි කරනවා. ඒ නිසා ගේ දොර කටයුතු සොයා නොබැලීම නිසාවෙන් තරමක නොහොඳ නෝක්කාඩු තත්වයන් පවා ගෙන දෙන්න පුළුවන්. බුද්ධිමත්ව ඒ ගැන සිතා කටයුතු කරන්න නම් අමතක කරන්න එපා. දුර බැහැර ගමන් බිමන් ටිකක් බහුල කරනවා. ඒ නිසා බොහෝවිට නිසි වෙලාවට ආහාර නොගැනීම නිසා උදරාශ්‍රිත, උෂ්ණාධික රෝග පීඩා ඇතිවීමේ ඉඩකඩ තමයි බහුල. සෙනසුරු 5 වැන්නේ බල රහිතව ගමන් කරද්දී තමයි මේ අවුරද්ද උදාවන්නේ. දුවා දරුවන් පිලිබඳ තීන්දු තීරණ ගැනීමේදී නම් ටිකක් කල්පනාකාරී වීම වැදගත්. දරුපල පිලිබඳ යම්කිසි බලාපොරොත්තුවක් තුල ඔබ සිටිනවානම් ඒ ආශ්‍රිතවත් යම් බාධා කරදර නොදෙන්න පුළුවන්. නිසි වෛද්‍ය උපදෙස් ලබාගත්තොත් තිබෙන්නාවූ කරදර බාධක පහසුවෙන් මගහරවා ගැනීමේ ශක්තීන් තමයි ඇතිකරන්නේ. හැකියාවක් තියේනම් තමන්ගේ වයසට අදාලව කහ මල් මාලාවක් අමුණලා එහි මුලට සහ අගට නිලමල් 7 බැගින් මිශ්‍ර කරලා සඳුදා දවස් 3ක් බෝධීන් වහන්සේගේ නැගෙනහිර දිශාවේ එල්ලලා බලන්න. අනිවාර්යයෙන්ම ඔබ බලාපොරොත්තුවන ආකාරයටම 2015 නව වසර සාර්ථක වසරක් බවට පහසුවෙන්ම පත්කරගන්න පුළුවන්.

ප්‍රශාන්ත් මලවිගේ මහතා

කටක ලග්න හිමි ඔබට යන ඕනෑම තැනක උසස් අන්දමට කැපී පෙනෙන,ඔබේ හැකියාවන්,දක්ෂතාවයන් අන් අය පිළිගන්න වගේම එම හැකියාවන්,දක්ෂතාවයන් වර්ධනය කරගත හැකි කාල පරිච්ඡේදයක්. එමෙන්ම විශේෂ වගකීම් පැවරෙන,නායකත්වය ලැබෙන,මුලිකත්වය ලැබෙන කාලයක්ද වනවා. විදෙස් ගත ව්‍යාපාර,අධ්‍යාපනික අරමුණු, රැකියා අරමුණු වල යහපත් සඵලත්වයක් පෙන්වනවා සේම ඔබේ සිතිවිලි වල උසස් ශක්තියක් ද  පෙන්වන කාලයක්. වෙනදාට වඩා ආගම දහමට තදින් නැඹුරු වන,පරිත්‍යාගශීලී අදහස් සිත තුල ඇතිවන සහ කරන ඕනෑම කටයුත්තකදී උසස් කැපවීමේ ගුණයද විශිෂ්ට ලෙස මේ කාලය තුලදී පෙන්නුම් කෙරේ. එමෙන්ම විවාහය සම්බන්ද විසඳා ගත නොහැකි අරමුණු බොහොමයක් සඵල වන අතර ප්‍රේමය සම්බන්ධයෙන් අවංක, බුද්ධිමත් නිවැරදි තීරණ ගන්න එළඹෙන කාලය තුලදී ඔබට හැකි වනවා. නව ගේදොර,ඉඩකඩම් ආදිය මිලදී ගැනීමේ අපේක්ෂාවන් ඉටුවන සේම ඔබ බලාපොරොත්තු වන ණය මුදල් ලැබෙන කාල පරිච්චේදයක්. විශේෂයෙන් අනාගත ජීවිතේ සැලසුම්  සම්බන්ධ සුවිශේෂී තීරණද මේ කාලය තුලදී සඵල වේ.සන්දි ගත රෝග,ශීර්ෂ ගත රෝග,සෙම් රෝග වලින් ප්‍රවේශම් වීමත් එවැනි රෝග තත්ව වලින් ඔබ පීඩා විඳියි නම් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම ඉතාමත් යහපත් වනවා.ඔබගේ ජය අංකය ලෙස 9ත්,ජය වර්ණය ලෙස දුඹුරු වර්ණයත් හඳුන්වන්නට පුළුවන්


සිංහ ලග්නය

නිශාන්ත පෙරේරා මහතා

සිංහ ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති අඟහරු බුධ එකට සංයෝග වෙලා පුණ්‍යස්ථාන වූ 9 වැන්නේ ගමන් කරන අතර සිකුරු බලවත්ව 10 වැන්නේ ගමන් කරමින් තමයි සිංහ ලග්නයෙන් උපන් ඔබට අවුරුද්ද උදා වන්නේ. මේ වසරේ මූල්‍ය තත්වයට ඔන්න මිශ්‍රපල සහිත තත්වයක් තමයි ගෙන දෙන්නේ. බොහෝවිට ආවේගශීලී ගතිලක්ෂණ ඔබට දියුණුවට බාධා කරදර ගෙන දෙන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න සිංහ ලග්න හිමියන්ට කථාබහේදී තමයි වැඩිපුර ප්‍රවේශම් විය යුත්තේ. ආවේගශීලී කථාබහ නිසාවෙන් මූල්‍ය පාඩු වගේම හිතවතුන්ගෙන් දුරස්වීම් පවා සිදුවෙන්න පුළුවන්. ගෘහ ජීවිත ආශ්‍රිතව ගත්තට පස්සේ සෙනසුරු බලරහිතව 4 වැන්නේ ගමන් කිරීම නම් එතරම් යහපත් වන්නේ නැහැ. ඔබේ ක්ෂණික කෝපය බොහෝවිට පවුලේ සමගියටත් යම් යම් බාධා කරදර ගෙනදෙන්න පුළුවන්. තීන්දු තීරණ ආදිය මත ගැටුම් වලට හේතුවීම් ඉඩකඩ තියෙනවා. ඒ නිසා උදෑසන සිටම මෛත්‍රී සහගත ලෙසින් දවස ආරම්භ කරන්න පුළුවන් වුනොත් සිංහ ලග්නයෙන් උපන් ඔබට තිබෙන්නාවූ කරදර බාධක පහසුවෙන්ම මගහරවා ගැනීමට හැකියාව ශක්තිය අනිවාර්යයෙන්ම ලැබේවි. සෞඛ්‍යය අතින් ගනිද්දී නම් බොහෝවිට හුස්ම ගැනීමේ අපහසුතා වගේම අධි රුධිර පීඩන වැනි තත්වයන් ඇතිකිරීමට ඉඩකඩ නම් බොහෝ ඉහලයි. සුළු අසනීප තත්වයකදී පවා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත්තොත් සිංහ ලග්නයෙන් උපන් ඔබට පහසුවෙන්ම මේ වසර ජයගන්න පුළුවන්. හැකියාවක් තිබේ නම් ඉරිදා දවස්වල දී සූර්ය පිරිත, ජය පිරිත වරක් හෝ සජ්ඣායනා කරලා සූරිය පිරිත, ජය පිරිත වරක් හෝ ශ්‍රවණය කරලා වසරේ කටයුතු කරලා බලන්න. එවිට සිංහ ලග්නයෙන් උපන් ඔබේ ජයග්‍රහණය වලක්වන්න කාටවත් බැරිවෙයි.

ප්‍රශාන්ත් මලවිගේ මහතා

ඔබ සිංහ ලග්න හිමියෙකුනම් මේ කාලය තුලදී ශක්තිමත් ආත්ම විශ්වාසයකින් යුතුව කටයුතු කරන අතර සමබර අදහස් වලින්ද යුතු වනවා එමෙන්ම කරන කියන සෑම කටයුත්තකදීම ඔබට සතුට ලැබීමත්,සිතිවිලි වල දැඩි බව නිසා ඔබ අරමුණු කරගත් ඉලක්කයන් පහසුවෙන් ජය ගන්නට ලැබීමත් මේ කාල සීමාවේදී සිදු වනවා. ඔබට හමුවන දුෂ්කර කටයුතු වලට නොපැකිලිව ඉදිරිපත් වන,එම කටයුතු වලින් යහපත් ලෙසින් ජයගන්න කාලයක් ලෙසින්ද මේ කාලය හඳුන්වන්න පුළුවන්. කැපවීම,උනන්දුව,ධෛර්ය වෙනදාට වඩා කායිකව හා මානසිකව ඔබ තුල ඇතිවේ.එමෙන්ම උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියුතු වූ අයට ඉතා යහපත් වන සේම විදෙස් ගත රැකියාවන් ඉල්ලුම් කිරීමට ඉතා යහපත් වනවා. විවාහය සම්බන්ධ තීරණ වලදී නම් තරමක් දුරට අවංක බවට වඩා වංක බවක් පෙන්නුම් කරනවා එනිසා විවාහය සම්බන්ධ තීරණ වලදී ඔබ ඉතාමත් කල්පනාකාරීව සහ බුද්ධිමත්ව කටයුතු කිරීමත් තම ගෞරවය හානි වන ආකාරයේ තීරණ නොගැනීමටත් ඔබ සිහි තබාගත යුතු වනවා.ඔබගේ වැයපස ඉහල ගියත් ඊට සරිලන ආකාරයට ආදායම් තත්වය යහපත් වර්ධනයක් පෙන්නුම් කරන නිසා ණයතුරස් වලින් තොරව එළඹෙන කාලය තමන්ගේ ගෞරවය ආරක්ෂා කර ගනිමින් යහපත් ලෙසට කටයුතු කිරීමට අවස්තාව උදා වෙනවා. එමෙන්ම ගෙදරදොර කටයුතු වල නව වෙනසක් ඔබ අපේක්ෂා කරන්නේ නම් එම අරමුණුද ඉතා හොඳින් සාර්ථක වනවා.මුත්‍රාශය ආශ්‍රිතව ඇතිවන රෝග,ලේ විෂවීම් සහිත රෝග පිළිබඳව තවදුරටත් සැලකිලිමත් වීම වැදගත්.ඔබගේ ජය අංකය ලෙස අංක  8ත්,ජය වර්ණය ලෙස කොළ පැහැයත් හඳුන්වන්නට පුළුවන්.


කන්‍යා ලග්නය

නිශාන්ත පෙරේරා මහතා

ලග්නාධිපති බුධ රවී අඟහරු සමග සංයෝග වෙලා 8 වැන්නේත්, රාහු ලග්නගතව බලවත්වෙලා වගේම, කේතු 7 වැන්නේ බලවත් වෙලා ගමන් කරද්දී තමයි මේ නව වසර කන්‍යා ලග්න හිමියන්ට උදා වෙන්නේ. තිබුණාවූ කරදර බාධක පහසුවෙන්ම මගහරවා ගන්න පුළුවන්. මූල්‍ය ශක්තිය නම් ඉතාමත් යහපත් වෙනවා. තමන්ගේම කියා කටයුතු කරන උදවියට අනිවාර්යයෙන්ම සාර්ථකත්වය පහසුවෙන්ම ලඟා කරගන්න පුළුවන් වේවි. ප්‍රධානීන් අතර තිබුණාවූ නොහොඳ නෝක්කාඩු තත්ත්වයන් පහසුවෙන් මගහරවා ගන්න පුළුවන් වගේම රැකිරක්ෂා ආශ්‍රිතව තිබුණාවූ සතුරු කරදර බාධාත් මේ වසරේ ඔබට ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ වගේම තමයි ජූලි 14න් පස්සේ කාලෙන් තිබෙන්නාවූ තත්වය තව තවත් ශුභ තත්වයන් කරා යොමුකර ගන්න අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවි. ගෘහ ජීවිතය ආශ්‍රිතව වුනත් පසුගිය කාලයේ තිබුනාවූ අඩුපාඩු පහසුවෙන් මගහරවා ගන්න පුළුවන්. ගේ දොර සමගියට තිබුණ කරදර බාධාවන් පවා අනිවාර්යයෙන් නිරාකරණය වේවි. ප්‍රේමයට, ආලයට වැඩිහිටි ආදීන්ගෙන් විරෝධතාවයක් තිබුනානම් කන්‍යා ලග්නයෙන් උපන් ඔබට ඔවුන් ගේ ආශිර්වාදය ලැබේවි. ඒ වගේ තමයි ගෙදර වැඩිහිටි ආදීන්ගේ, විශේෂයෙන්ම නැන්දම්මලා මාමලාගේ අතර යම්කිසි නොහොඳ නෝක්කාඩු තත්වයන් තිබුනානම් මෙන්න මේ වසරේ විරසක තත්වයන් මගහැරිලා පවුල් සමගිය සහජීවනය වර්ධනය වේවි. දණහිස් ආශ්‍රිත ආබාධ වලට තමයි හේතුවීම් ඉඩකඩ තියෙන්නේ. උස් ස්ථාන වල නගිද්දී ඉතාමත් කල්පනාකාරී වුනොත් ඉතාමත් යහපත් වෙයි. යානවාහන වල ගමන් කරද්දී වේගය පිලිබඳ සැලකිල්ලක් දැක්වුවොත් කන්‍යා ලග්නයෙන් උපන් ඔබට අමතක නොවන වසරක් වේවි. හැකියාවක් තිබේනම් අමාවක පෝය දිනවල ඔබේ වයසට හෝ පවුලේ අයගේ වයසට ගැලපෙන විදිහට තල තෙල්, අබ තෙල්, එළගිතෙල්, පොල්තෙල් එකතු කරලා පහන් දල්වලා බලන්න. අනිවාර්යයෙන්ම 2015 අලුත් අවුරුද්ද කන්‍යා ලග්නයෙන් උපන් ඔබට සුභම සුභ අවුරුද්දක් බවට පත් කරගන්න පුළුවන්.

ප්‍රශාන්ත් මලවිගේ මහතා

ස්වකිය කුසලතාවයන්  දක්ෂතාවයන් සහ බුධිමත් බව  වර්ධනය වන වසරක්. අධ්‍යාපනියක හැකියාවන් සහ කුසලතාවයන් වර්ධනය වන වසරක්. ඉක්මන් තීරණ නිසා  මුදල් පාඩු සිදුවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. පමණට වඩා අන්‍යයන් පිළිබඳව  විශ්වාස නොකළ යුතුයි. සුභ අසුභ මිශ්‍රව ජිවිතයට බොහෝ අත්දැකීම් ලැබෙන කාලපරිච්ඡේදයක්. විවාහය සම්බන්ධ තීරණ වලදී ඉක්මන් නොවී කටයුතු කිරීම ඉතා යහපත් වේ.රැකියාව සම්බන්ධව උසස් අවබෝධයක් ලැබෙන අතර විශේෂයෙන්ම අධ්‍යාපන  ක්ෂේත්‍රයේ උසස්වීම බලාපොරොත්තු ඇති අයට යහපත් කාලයකි.තම අරමුණු සපුරාගත හැකි වන්නේය.විදෙස්ගත අරමුණු සාර්ථක  වන්නේය.විශේෂයෙන්ම සම්මුක පරීක්ෂණ  තරංග විභාග ආදියට මුහුණදීමට බලාපොරොත්තුවන කුමන  තරාතිරමක අයෙකු වුවත්  ඔබගේ අරමුණු සාර්ථක වන්නේය. බාහිර වැඩ අධික වීම නිසා ගෙදර දොර වැඩකටයුතු අතපසුවීමක් පෙන්නුම් කරයි.අත්‍යවශ්‍ය දෙයට මුල් තැන දී  කටයුතු කරන්නේ නම් ඔබගේ අරමුණු සාර්ථක වන්නේය .ඔබේ සිතේ සතුට වැඩිදියුණු වන ඔබේ අරමුණු සපුරාගතහැකි වන වසරකි. රුධිර පීඩනයේ වෙනස්කම්,හර්ධ රෝග,මල බද්දය වැනි රෝග තත්වයකින් ඔබ පිඩා විදින්නේ නම් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම යහපත් වේ.


තුලා ලග්නය

නිශාන්ත පෙරේරා මහතා

ලග්නාධිපති සිකුරු 8 වැන්නේ බලවත් වෙලා ගමන් කරද්දී රාජ්‍යකාරක රවී, කුජ, බුධ, 7 වැන්නේත්, බ්‍රහස්පති 10 වන්නේ බලවත් වෙලා හංස නමැති පංච මහා පුරුෂ යෝගයකින් ගමන් කරද්දී තමයි මේ අලුත් අවුරද්ද තුලා ලග්න හිමියන්ට උදා වන්නේ. යෝගකාරක සෙනසුරු 2 වැන්නේ බල රහිතව ගමන් කිරීම නිසා තරමක කරදර පීඩා ගෙනදෙන්න පුළුවන්. බොහෝවිට සුළු සුළු කරුණු කෙරෙහි ඔබේ අවධානය යොමු නොවීම නිසාවෙන් මූල්‍ය පාඩු ඇතිවීමේ ඉඩකඩ තියෙනවා. ගේ දොර, යානවාහන, දේපල ආදිය මිලට ගනිද්දී නම් නීතිමය පැතිකඩ වගේම එහි තිබෙන්නාවූ වටිනාකම ගැනත් සොයා බලන්න අමතක කරන්න එපා. ගෘහ ජීවිතය ආශ්‍රිතව බලද්දී 7 වැන්නාධිපති 7 වැන්නේ බලවත් වීම ඉතා ශුභයි. වෘචක නමැති පංච මහා පුරුෂ යෝගයක් උදා වෙලා තියෙනවා. ගේ දොර, සමගිය සහජීවනය වගේම ප්‍රභල මංගල යෝග පවා ගෙනදෙනවා. ඔබට විවාහ කටයුතු ප්‍රමාද වෙලා හිටියනම් අනිවාර්යයෙන් ඒ හිමිකරු තමයි ඔබේ විවාහ සහකරු කියල අනිවාර්යයෙන් කියන්න පුළුවන්. සෙනසුරුගේ ඒරාෂ්ටක තත්වයන් පැවතීම නිසා වැටීම්, තැලීම් වැනි තත්වයන් වලට ලක්වීමට ඉඩකඩ තියෙනවා. ඒ පිළිබඳවත් සිතලා මතලා තුලා ලග්න හිමියන් මේ වසර ආරම්භ කරොත් ඉතාමත් සුභ වසරක් බවට පහසුවෙන්ම පත්කරගන්න පුළුවන් වෙයි. හැකියාවක් තිබේ නම් පුර අටවක ලබන පෝය දිනයකදී බෝධි පූජාවක් තබන්න. ඒ වගේම තමන්ගේ වයසට අදාලව මල් පහන් පූජා කරලා, බෝධි පූජාවක් තබලා ඉල්ලන්න උදාවන්නාවූ නව වසර මා හට වගේම අපහටත් වාසනාවන්ත වසරක් බවට පත්කරලා දෙන ලෙස. අනිවාර්යයෙන්ම ඒ අහිංසක ප්‍රාර්ථනාව ඔබට ඉෂ්ට සිද්ධ වෙනවා ඒකාන්තයි.

ප්‍රශාන්ත් මලවිගේ මහතා

තම අවංක බව සංවේදී බව පරිත්‍යාගශීලි ස්වභාවය පරාර්ථකාමී ගුණය ඔබගේ චරිතය තුලින් උසස් ලෙසට දිස්වන කාල පරිච්ඡේදයකි. අන්‍යන් ඔබ පිළිබඳව යහපත් ආකල්ප ඇති  ගනී. තම  හැකියාවන් සහ දක්ෂතාවයන් තුලින්   ඔබට උසස් ප්‍රතිපල නෙලාගත හැකි වන්නේය.ඔබගේ සහජ කුසලතාවයන් වර්ධනය කරගත හැකි වන්නේය. තම දැනුම තුලින් මුදල් උපයන වෘත්තිකයන්ට ඉතා යහපත් වේ. බලාපොරොත්තු නොවූ හදිස්සි දුරබැහැර ගමන් බිමන් විදෙස් ගත වීම් හිමිවන කාලයකි. වෙනදාට වඩා ආගමික භක්තිය ඇතිවන ශ්‍රද්ධාවෙන් කටයුතු කරන පරිත්‍යාගශීලි අදහස් සිතෙහි ඇති කරන කාලයකි. තම ගෙදර දොර අලුත්වැඩියාවක් හෝ නවතාවයක් වෙනුවෙන් අමතර මුදලක් වැය කිරීමට සිදු වේ. දැනුම සහ බුද්ධිය දියුණු වේ. ඉදිරිපත් වන කටයුතු වලදී ඔබගේ හැකියාවන් සහ දක්ෂතාවයන් තේරුම් ගෙන අන්‍යන්ගේ සහයෝගය සහ උපකාරය ඔබට යහපත් ලෙස ලැබෙන කාලයකි. විවාහය සම්බන්ධ තීරණ වලදී නිශ්චිත තිරනක නොමැතිව ඉක්මන් කාරීව වේගවත්ව කටයුතු කරන බවක් පෙන්නුම් කරයි. ප්‍රේමය ආදරය සම්බන්ධ තීරණ වලදී නිශ්චිත ඉලක්කයක් හා අරමුණක් නොමැති වීම නිසා කටයුතු අතපසු වීමකුත් පෙන්නුම් කරයි .අක්ෂිගත රෝග මුත්‍ර උෂ්ණාධික රෝග හර්නියා වැනි රෝග තත්ත්වයකින් ඔබ පිඩා විදින්නේ නම්  ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම වැදගත්.


වෘශ්චික ලග්නය

නිශාන්ත පෙරේරා මහතා

ලග්නාධිපති 6 වැන්නේ රවී සහ බුධ සමඟින්ද ලග්නගතව සෙනසුරුත් 7 වැන්නේ සිකුරු බලවත් වෙලා වගේම 9 වැන්නේ බ්‍රහස්පතිත් ගෝචර වෙමින් තමයි වෘශ්චික ලග්න හිමියන්ට මේ අලුත් අවුරුද්ද උදා වෙන්නේ. ධනස්ථානයට අධිපති බ්‍රහස්පති ජූලි 14 වෙනිදා වෙනකල්ම වෘශ්චික ලග්න හිමියන්ගේ පුණ්‍යස්ථානය වූ 9 වැන්නේ තමයි ගමන් කරන්නේ. පෙර පිං පල දෙන කාලයක් ලෙසින් හඳුවන්න පුළුවන්. හැබැයි සෙනසුරුගේ ඒරාෂ්ටක තත්ත්වෙත් ප්‍රබලතම කාලයක් තමයි වෘශ්චික ලග්නේ උපන් ඔබ ගත කරන්නේ. බොහෝවිට හතුරා කවුද, මිතුරා කවුද කියල තෝරා බේරා ගැනීමේ අපහසුතාවයක් මත ඔබේ දියුණුවට යම් යම් බාධා ගෙනදෙන්න පුළුවන්. එහෙම වුනොත් සෙනසුරු තමයි වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට වඩා ඉස්සර වෙන්නේ. ඔබ බුද්ධිමත්ව වසර ආරම්භයේ සිටම තමන්ගේ හැකියා දක්ෂතා පිළිබඳව තේරුම් අරගෙන කටයුතු කරන්න. ආහාරපාන වගේම දියර ආශ්‍රිතව ව්‍යාපාර කරන උදවියට නම් මේ වසර ඉතාමත් ජයග්‍රාහී වසරක් බවට පත්කරගන්න පුළුවන්. ගෘහ ජීවිතය ආශ්‍රිතව ගත්තම වසර ආරම්භ වෙන්නේ සිකුරු බලවත් වෙලා වෘශභාරාශී ගතව ගමන් කරද්දී විවාහාදී කටයුතු වලට වගේම පවුලේ යම් යම් නොහොඳ නෝක්කාඩු තත්වයන් තිබුනානම් ඒ දේවල් සමනය කරගැනීමේ ශක්තිය ඇති කරනවා. දරුපල ආශ්‍රිතව පවා යම් යම් කරදර බාධා තිබුණ වෘශ්චික ලග්න හිමියන්ට උදාවන මේ වසර තමන්ගේ අරමුණු බලාපොරොත්තු ඉටුකරගන්න පුළුවන්. ඒ වගේම තමයි වෙනදාටත් වඩා යුතුකම් වගකීම් පවා බහුල කරන වසරක් ලෙසින් මේ වසර හඳුන්වන්න පුළුවන්. අමතක කරන්න එපා යන්ත්‍ර සූත්‍ර ආශ්‍රිතව, උස් ස්ථාන වල කටයුතු කරන උදවිය වගේම, ගින්දර ආශ්‍රිතව කටයුතු කරන වෘශ්චික ලග්න හිමියන් ටිකක් කල්පනාකාරී වෙන්න. මොකද ගින්දර ආශ්‍රිතව යම් යම් ආපදා සිදුවීම් ඉඩකඩ මේ වසර තුල ඉහලයි. හැකියාවක් තිබේනම් මෙහෙණින් වහන්සේ නමකට හෝ කන්‍යා සොහොයුරියකට කුඩයක් පූජා කරන්න පුළුවන් වුනොත් මාසේ පලවෙනි අඟහරුවාදා තිබෙන්නා වූ අහිතකර තැන් මඟහරවාගෙන, වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට සුභම සුභ වසරක් බවට පහසුවෙන්ම පත්කරගන්න පුළුවන්.

ප්‍රශාන්ත් මලවිගේ මහතා

තම අපේක්ෂාවන් සහ අරමුණු ජය ගැනීමට අන්‍යන්ගේ උපකාරය ලැබෙන වසරකි. අන්‍යන් ඔබට කාලයෙන් ධනයෙන් ශ්‍රමයෙන් ඔබට උපකාර කරයි. විශේෂයෙන්ම ඔබ කියන කරන කටයුතු වලට  විරුද්ධ ලිංගික ආකර්ෂණය ලැබෙන කාලයක්. ප්‍රේමය ආදරය සම්බන්ධව   නව බලාපොරොත්තු සිත් තුල ඇතිවන කාලයකි. විවාහ අපේක්ෂාවන් ඉටුවන කාලයකි.සැමියා බිරිඳ අතර තිබු නොහොඳ නෝක්කාඩු කම් යටපත්ව ශක්තිමත් ආදර බැම්මක් ඇතිවන කාලයකි.තරඟකාරී කටයුතු වලින් ජයග්‍රහණය ලැබෙන්නේය.තරඟකාරී අධ්‍යාපන හෝ රැකියා ව්‍යාපාරික කටයුතුවල දියුණුවක් වගේම උසස් ප්‍රගතියක් අපේක්ෂා කිරීමට හැකිය.තනි පුද්ගල ව්‍යාපාරිකයන්ගේ අරමුණු ප්‍රගතියට සහ ශක්තිමත් තත්ත්වයට පත් වන්නේය.ඔබ හවුල් ව්යාපාරිකයෙක්නම් ඔබගේ හවුල් ව්‍යාපාර දියුණුවට පත් වන්නේය. උසස් අධ්‍යාපනික අරමුණු වල යහපත් සාර්ථකත්වයක් අපේක්ෂා කල හැකිය. තරඟ විභාග සම්මුක පරීක්ෂණ වලට ඉදිරිපත් වීමට ඉතා යහපත් වේ. හර්ධ රෝග වකුගඩු රෝග ශිර්ශගත් රෝගතත්වයකින් පිආ විදින්නේ නම් සෞක්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම වැදගත්.


ධනු ලග්නය

නිශාන්ත පෙරේරා මහතා

ධනු ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති බලවත්ව 8 වැන්නේත්, රවී, කුජ, බුධ 5 වැන්නේත්, සෙනසුරු 12 වැන්නේත් සිකුරු 6 වැන්නේත් ගමන් කරද්දී තමයි මේ අලුත් අවුරුද්ද උදා වෙන්නේ. ධනස්ථානයට අධිපති සෙනසුරු 12 වැන්නේ බල රහිතව ගමන් කිරීම එතරම් යහපත් තත්වයක් නෙමෙයි ගෙන දෙන්නේ. බොහෝවිට ඔබ වැඩ කල් දැම්මත් අවසාන මොහොතේ කිරීමට ගොස් පටලවා ගැනීම වැනි තත්ත්වයන් බහුල කරන්න පුළුවන්. ඒ නිසා වසර ආරම්භයේ සිට කටයුතු කරද්දී එක පාරක් නෙමෙයි දෙතුන් පාරක් හිතල බලල කටයුතු කරන්න ධනු ලග්න හිමියන් අමතක කරන්න එපා. රැකී රක්ෂා ආශ්‍රිතව පවා කරදර බාධා ගෙනදෙයි. බොහෝවිට අන් අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රධානීන් සමඟ කතා කිරීම නම් ධනු ලග්න හිමියන්ට එතරම් සුභ වසරක් නෙමෙයි. බොහෝවිට ඔවුන් ඔක්කොම එක් පැත්තක් ගෙන ඔබව හුදකලා වෙන එක නම් වලක්වන්න බැරි වෙයි. ඒ නිසා අනිවාර්යයෙන්ම මතක තබා ගන්න තමාට අයිති නැති දේවල් කෙරෙහි අයිතිවාසිකම් කෙරෙහි පෙනී සිටින්න යන්න එපා. යුග ජීවිතය ආශ්‍රිතව ගත්කල වසර ආරම්භයේදීම බුධ ග්‍රහයා 5 වැන්නේ ගමන් කිරීම නිසා දුවා දරුවන්ගේ ජයග්‍රහණ කෙරේ සතුටුදායක ආරංචි මාර්ග ලැබෙනවා. ඒ වගේම තමයි ගණිතය, විද්‍යාව, තාක්ෂණය වැනි විෂයධාරාවන් හදාරන ධනු ලග්න හිමියන්ට මේ වසරේ සුභඵල පහසුවෙන්ම ලඟා කරගන්න පුළුවන්. ඒ වගේම තමයි සෙනසුරුගේ ඒරාෂ්ටක තත්වයක් පසුගිය නොවැම්බර් මාසයේ සිට ඔබට ආරම්භ වීම නිසා බොහෝවිට උදරාගත ආබාධ ඇතිවීමේ ඉඩකඩ තියෙනවා. බොහෝවිට ආහාර දිරවීමේ දුර්වලතා තමයි බහුල කරන්නේ. ඒ නිසා ඔන්න පාලනයකින් යුක්තව ආහාර ගැනීම වගේම නිසි වෙලාවට ආහාර ගන්නත් ධනු ලග්නයේ උපන් ඔබ අමතක කරන්න එපා. හැකියාවක් තියේනම් ආහාර තෝරා ගැනීමේදී ස්වභාවික ආහාර කෙරෙහි යොමුවන්න. අනිවාර්යයෙන්ම තිබෙන අහිතකර තත්වයන් මගහරවා ගන්න පුළුවන්. හැකියාවක් තියේනම් ප්‍රදේශයේ පහසුකම් අවම දුවෙකුට පුතෙකුට තමන්ට හැකි ආකාරයට අධ්‍යාපනයට අවශ්‍ය උපකරණ දන් දෙන්න. එවිට තිබෙන්නාවූ ග්‍රහ රටාව පහසුවෙන්ම මෙල්ල කරගෙන උදාවන්නාවූ 2015 වසර සෞභාග්‍යවත් වසරක් ලෙස පහසුවෙන්ම පත්කරගන්න පුළුවන්.

ප්‍රශාන්ත් මලවිගේ මහතා

කාර්යය බහුල සෑම  දෙයක්ම නිවැරදිව කර ගැනීමට අවශ්‍ය වන බුද්ධිමය ශක්තිය ලැබෙන කාලසිමාවකි. තැනට සුදසු නුවනින් යුතුව බුද්ධිමත්ව කටයුතු කිරීම නිසා ඔබට සිදුවන බොහෝ පාඩු වළක්වාගෙන කටයුතු කළහැකි වන කාලයකි. රැකියාමය කටයුතු වල බොහෝ කැපවීම සහ ක්‍රියාශීලි ගුණය පෙන්නුම් කරන  නිසා බලාපොරොත්තු වූ උසස් අරමුණු ඉටුකරගත හැකි වන්නේය. අමතර ව්‍යාපාර වලින් ඔබට ජයග්‍රහණය ප්‍රගතිය උදා වන්නේය. විවාහය සම්බන්ධ  පැවති බාධක යටපත්ව තම අරමුණු සාර්ථක වන්නේය. කෙසේ නමුත් ඔබගේ ඉදිරි සැලසුම් වල නිරවද්‍ය බව නිසා ජිවිතයේ අනාගතය සම්බන්ධ වැදගත් තීරණ ගැනීමට යහපත් වේ. පමණට  වඩා අන්‍යන් පිලිබඳ විශ්වාස කිරීම  නිසා ඔබට පාඩු සිදුවිය හැකිය. ඔබගේ අවංක බව නිසා අවසානයේදී ඒ සෑම දෙයකින්ම යහපත්වූ ප්‍රතිපල අත් වන්නේය. පරිත්‍යාගශීලි ගුණයත් අවංක බවත් ඔබගේ චරිත තුලින් උසස් ලෙසට පෙන්නුම් කරන්නේය. හෘද රෝග ආමාශගත රෝගයකින් ඔබ පිඩා විදින්නේ නම් පමණට වඩා ප්‍රශ්න පිලිබඳ කල්පනා කිරීම තුලින් මානසික ආතතිමය තත්ත්වයන් හැකිතාක් දුරට පාලනය කරගෙන සැහැල්ලුවෙන් කටයුතු කිරීමට ඔබ වෙහෙසෙනවානම්  ඔබට යහපත් නිරෝගිමත් වසරක් වන්නේය.



මකර ලග්නය

නිශාන්ත පෙරේරා මහතා

ලග්නාධිපති සෙනසුරු අයස්ථානය වූ 11 වැන්නේත්, රවී, කුජ, බුධ 4 වැන්නේත් බ්‍රහස්පති බලවත්ව 7 වැන්නේත් ගමන් කරද්දී තමයි මකර ලග්න හිමියන්ට මේ අලුත් අවුරුද්ද උදා වන්නේ. මූල්‍ය ශක්තියට ඉතාමත් ශුභ වසරක්. කරනු ලබන කටයුතු වගේම ඔබ කරන්න බලාපොරොත්තු වන කටයුතුත් අනිවාර්යයෙන්ම සඵල කරගන්න පුළුවන්. රැකී රක්ෂා ආශ්‍රිත දියුණුව වගේම උසස්වීම්, ප්‍රධානීන් සමඟ හොඳ හිත පවත්වාගෙන යාමට ඉඩකඩ පහසුවෙන්ම ලඟා කර දෙනවා. තැන්පත් මුදල් පවා ඔන්න මේ උදාවෙන වසරේ සාර්ථක ලෙස ඉහල නංවන්න මකර ලග්න හිමියන්ට පුළුවන්කම ලැබෙනවා. ගෘහ ජීවිතය ආශ්‍රිතව ගත්තහම 4 වැන්නේ අඟහරු, රවී බලවත්ව බුධ සමග පිහිටීම ඉතා සුභයි. ගේ දොර යාන වාහන ලැබීම් වලට ඉතා යහපත් වෙනවා. මේ වසරේ ඔබේ පදිංචි ස්ථානය ආශ්‍රිතව වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒ වෙනස්කම් යහපත් ලෙසින් තමයි සිද්ධ වන්නේ. ඔබගෙන් දුරස් වූ ඥාතීන්, හිතවතුන් නැවතත් ඔබගේ ඇසුර පතාගෙන ඒමට ඉතා යහපත් ග්‍රහ රටාවක් තමයි ඇතිකරලා තියෙන්නේ. ඒ වගේම මකර ලග්න හිමියන්ට වෙනදට වඩා කාන්තා ආකර්ශනය ඉතාම ඉහල මට්ටමක පවතිනවා. ප්‍රේමය ආලය ජයගන්නවා වගේම විවාහ ආදී කටයුතු ප්‍රමාද වෙලා තිබුනානම් ඒ දේත් සාර්ථක කරගන්න පුළුවන්. කාන්තා පාර්ශවය සමග කටයුතු කරද්දී නම් ටිකක් පරිස්සම් වෙන්න. බොහෝවිට, රැවටීම්, මුලාවේ වැටීම් වලට හසුවීමේ ඉඩකඩත් හරි ඉහලින් පවතින්නේ. සෞඛ්‍ය අතින් ගත්කල ඉතාමත් යහපත් වෙනවා. මෙතුවක් කල් ඔබ යම්කිසි රෝග තත්වයකින් පීඩා වින්දානම් නිරෝගී සම්පත්තිය ඇතිකරගන්න උදවන්නාවූ වසර ඉතාම යහපත්. උගුර ආශ්‍රිත ආසාදන තත්ත්ව වලින් තමයි ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. ඒ පිලිබඳ හිතා බලා මේ අවුරුද්ද ඔබ ආරම්භ කලොත් අනිවාර්යයෙන්ම සුභම සුභ වසරක් බවට පහසුවෙන්ම පත්කරගන්න පුළුවන්. හැකියාවක් තියේනම් මාසේ පළමුවෙනි බදාදා දවසේ ගණ දෙවියන්ට ඊතන මල් මාලාවක් දාලා කටයුතු ආරම්භ කරලා බලන්න. එවිට මේ වසර ඔබට වාසනාවන්ත වසරක් බවට පහසුවෙන්ම පත් කරගන්න පුළුවන්.

ප්‍රශාන්ත් මලවිගේ මහතා

කාලය නිවැරදිව සැලසුම් කර කටයුතු කරන කාලයකි. කාලය ඉතිරිකරගැනීමට යොදන උපක්‍රම සාර්ථක වීම නිසා සිතට නිදහස ඇතිවන යහපත් කාලයකි. තම නිශ්චල චංචල දේපල වර්ධනයටත් ආරම්භ කරන කටයුතු වල  යහපත් සාර්තකත්වයකුත් පෙන්නුම් කරන කාලයකි. විදෙස්ගත රැකියා ඉල්ලුම් කිරීමට ඉතාමත් යෝග්‍ය වේ. රැකියාමය කටයුතු වල අපේක්ෂා කල උසස් වීම් සාර්ථක වේ. විවාහ අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන්ගේ අපේක්ෂා සාර්ථක වේ. ප්‍රේම සම්බන්ධතා ශක්තිමත් වේ. අධ්‍යාපනික අරමුණු සාර්ථක කරගත හැකි වන්නේය. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුවක් අපේක්ෂා කල හැකිය. විදෙස් ගත අරමුණු වල ස්ථිර සාර්ථකත්වයක් පෙන්නුම් කරයි. එවැනි කටයුතු වෙනුවෙන් ඇති තරඟ විභාග ජයගනී. සිතේ සතුට ඇතිවන කාලයකි. හෘද රෝග පෙනහළු අසාදිත රෝග තත්ත්ව,මානසික ආතතිය වැනි රෝග තත්ත්ව වලින් ඔබ පිඩා විදින්නේ නම් සෞක්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම වැදගත්.


කුම්භ ලග්නය

නිශාන්ත පෙරේරා මහතා

කුම්භ ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති සෙනසුරු 10 වැන්නේ රවී, බුධ, කුජ වික්‍රමස්ථාන ගතවත් බ්‍රහස්පති 6 වැන්නේත් යෝගකාරක සිකුරු 4 වැන්නේත් ගමන් කරද්දී තමයි මේ අලුත් අවුරුද්ද ඔබට උදා වන්නේ. ධනස්ථාන ගතව කේතුගේ ගමන් කිරීමත් එහි අධිපති 6 වැන්නේ පිහිටීමත් ඔබට විටින් විට මුල්‍ය අපහසුතාවයන් යෙදෙන්න පුළුවන්. ජූලි 14 වෙනිදා දක්වා ඒ තත්වයත් ප්‍රබල කරනවා. ඒ නිසා විශේෂයෙන්ම ඒ පිලිබඳ සැලකිල්ලක් දක්වන්න අමතක කරන්න එපා. බොහෝවිට ආයෝජන කටයුතු කටයුතු වලදී හවුල් ව්‍යාපාර ආදී කටයුතු වලදී රැවටීම්, මුලාවේ වැටීම් වැනි තත්ත්ව වලට පත්වීමේ ඉඩකඩ තියෙනවා. රැකී රක්ෂා ආශ්‍රිතව තෘප්තිය හීනවීම, ප්‍රධානීන් අතර තියෙන හොඳ හිත පළුදුවීම් ඇතිකරගන්න ඉඩකඩ තියෙන නිසා කුම්භ ලග්නහිමියන් ඒ පිලිබඳ වැඩි සැලකිල්ලක් දක්වන්න අමතක කරන්න එපා. ගෘහ ජීවිතය ආශ්‍රිතව ගත්තම, තරමක ගුප්ත චරිත ලක්ෂණ තමයි ඔබතුලින් විද්‍යාමාන වෙන්නේ. බොහෝවිට පවුලේ අය සමඟ තිබෙන කතාබහ පවා ඔබට ඇතිකිරීමේ ඉඩකඩ තියෙනවා . ඒ නිසා පිටස්තර ස්ථානවල ආහාර යනාදිය ගනිද්දී ටිකක් පරිස්සම් වීම වඩාත් වැදගත්. සතුරු කරදර පීඩා ගෙනදෙන්න පුළුවන්. ඔබගෙන්ම උදව් ගත්ත අය යම් යම් කරදර පීඩා ගෙන දේවි. හැබැයි ඒ හැමදෙයක්ම උපේක්ෂා සහගතව විඳදරා ගත්තොත් කුම්භ ලග්න හිමියන්ට තිබෙන අහිතකර තත්ත්වය පහසුවෙන්ම මගහරවා ගන්න පුළුවන් වේවි. සෞඛ්‍ය අතින් ගත්තහම මූත්‍රා ආශ්‍රිත ආබාධ වලට ලක්වීමේ ඉඩකඩ තියෙනවා. ඒ නිසා හැකිතාක් පිරිසිදු ජලය පාවිච්චි කරන්න අමතක කරන්න එපා. තිබෙන්නාවූ අහිතකර ග්‍රහ රටාව මගහරවා ගන්න ඔබට හැකියාවක් තිබෙනම් ඔබේ දකුණු අතේ වියතේ මිම්මට ගැලපෙන ආකාරයට පෙරහන්කඩ ගොටු 9ක් හැම මාස 3කටම සැරයක් සෙනසුරාදා දවසක ලඟම ඇති විහාරස්ථානයකට පූජා කරන්න. එවිට ඔබ අහිතකර තත්වයන් මඟහරවාගෙන යහපත් ලෙසින් මේ අලුත් අවුරුද්ද පහසුවෙන්ම ජයගන්න පුළුවන්.

ප්‍රශාන්ත් මලවිගේ මහතා

වෙනදාට වඩා කැපවීමකින් කටයුතු කරන,නව ප්‍රගතිය පෙන්නුම් කරන වසරකි. තම ගේ දොර ඉඩකඩම් වල මෙතෙක් කලක් පැවති යම් යම් බාධක නීතිමය ප්‍රශ්න නිරාකරණය කරගත හැකි වන්නේය. සහජ කුසලතාවයන් දක්ෂතාවයන් වැඩිදියුණු කරගත හැකි වන්නේය. කලාත්මක දේ නිර්මානාත්මක දේ කෙරෙහි වෙනදාට වඩා වැඩි නැඹුරුවක් ඇතිවේ. අලංකාරය වෙනුවෙන් වැඩි වියදමක් දැරීමට සිදුවේ. නමුත් ආදායම සහ වියදම සමානව පැවතීම නිසා නය තුරස් වලින් තොරව කටයුතු කල හැකියි. විවාහය සම්බන්ධ තීරණ වලදී නිශ්චිත අරමුණු වලින් තොර  වීම නිසා එවැනි කටයුතු අතපසු වේ. කල්පසුවන ස්වභාවයක් පෙන්නුම් කරයි.අධ්‍යාපනික ක්ෂේත්‍රයේ යහපත් උසස් වෙනස්කම් අපේක්ෂා කල හැකිය. ධර්යය සම්පන්නව ජිවිතයේ නව තීරණ වලට එළඹේ. රැකියාමය කටයුතු වල හදිස්සි වෙනස්කම් අපේක්ෂා කරන අයටත් ස්ථාන වෙනස්කම් අපේක්ෂා කරන අයටත් අරමුණු සාර්ථකත්වයට පත් වේ. විශේෂයෙන්ම නව දේ මිලදී ගැනීමටත් අවස්ථාව සැලසේ. එළඹෙන වර්ෂය ඔබට යහපත් ප්‍රතිපල උසස් ලෙස විදීමට හැකි වසරක්. පාද වල දුර්වලතා නහර ගැට ගැසීම් සෙම් රෝග ආදියෙන් පිඩා විදින්නන් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම වැදගත්.


මීන ලග්නය

නිශාන්ත පෙරේරා මහතා

ලග්නාධිපති 5 වැන්නේ වූ විද්‍යා ස්ථානගතවත් රවී, කුජ, බුධ 2 වැන්නේත් සෙනසුරු 9 වැන්නේත් සිකුරු 3 වැන්නේත් ගමන් කරද්දී තමයි මීන ලග්න හිමි ඔබට මේ අලුත් අවුරුද්ද උදා වන්නේ. ධනස්ථානාධිපති, ධනස්ථානගතව බලවත් වීම ඉතා ශුභයි. පොළොවෙන් ලැබෙන සම්පත්තීන් වලට මීන ලග්න හිමියන්ට සුවිශේෂ ජයග්‍රහණ අත්කරගන්න පුළුවන්. ඔබ මැණික් ආශ්‍රිත කර්මාන්තවල නිරතවන මීන ලග්න හිමියෙක් නම් මේ 2015 වසරේ ජයග්‍රහණ වලක්වන්න නම් කාටවත් බැරිවෙයි. ඒ වගේම තමයි පදිංචි ස්ථාන ආශ්‍රිතව දියුණුවටත් මේ උදාවූ වසර හොඳයි. බොහෝවිට ගේ දොර ආශ්‍රිතව අලංකාර කරන්න ගෙදර දොරට අත්‍යාවශ්‍ය බඩුවක් බාහිරාදියක් මිලට ගන්න මෙතුවක් කල් සිතමින් සිටියානම් මීන ලග්න හිමියන්ට ඒ බලාපොරොත්තු සාක්ෂාත් කරගන්න ඉතාමත් ශුභ වසරක් තමයි උදාවෙලා තියෙන්නේ. ලේ ගමන් කිරීමේ දෝෂ, විෂබීජ ශරීරගතවීම වැනි තත්වයන් වලට ලක්වීමට ඉඩකඩ තියෙනවා. අමතක කරන්න එපා ගෙදර දොරේ ඇතිකරන සුරතල් සතුන්ගෙන් පවා ඔබට කරදර බාධා සිදුවීමට ඉඩකඩ තියෙන නිසා ඒ පිළිබඳවත් හිතල බලල නව වසර ආරම්භ කිරීම තමයි වඩාත් වැදගත් වන්නේ. ඔබට හැකියාවක් තිබෙනම් ශල්‍යකර්මයකට ලක්වෙච්ච අයෙකුට හෝ හදිසි අනතුරකට පත්වෙච්ච කෙනෙකුට බෙහෙත්, ආහාර ස්වල්පයක් දෙන්න පුළුවන් වුනොත් තිබෙන්නාවූ අහිතකර ග්‍රහ රටාව පහසුවෙන් මෙල්ල කරගෙන උදාවු වසර ජයග්‍රාහී වසරක් ලෙසින් නිමකිරීමට ශක්තිය ධෛර්යය ලැබේවි.

ප්‍රශාන්ත් මලවිගේ මහතා

කුමන බාධක පැමිණියත් තම අපේක්ෂිත අරමුණ සහ ඉලක්කය ජය ගැනීමේ අරමුණ තුලම ඔබ සිටින නිසා ඔබගේ අනාගත සම්බන්ධ යහපත් ඉලක්කයන් තීරණ සාර්ථකත්වයට පත් වෙනවා. ජිවිතයේ නව අත්දැකීම් ලැබෙන ජිවිත පිළිබඳව වෙනදාට වඩා ගැඹුරින් හිතා බලන ආගම දහමට නැඹුරුව කටයුතු කරන කාලයකි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව ප්‍රගතියක් වගේම උසස් අධ්‍යාපනික බලාපොරොත්තු උසස් ප්‍රගතියක් බලාපොරොත්තු විය හැකියි. හවුල් ව්‍යාපාර වලදී කල්පනාකරිව කටයුතු කිරීම වැදගත්. හවුලේ කටයුතු කරන අය සමඟ මතගැටුම් ඇතිකර නොගෙන කටයුතු කිරීම වැදගත්. තනි පුද්ගල ව්‍යාපාරිකයන්ගේ උසස් දියුණුවක් ඇතිවේ. විවාහය සම්බන්ධ තීරණ වලදී අතිශයින්ම කල්පනාකාරීව බුද්ධිමත්ව තීරණ ගැනීම වැදගත්.ගෘහ කටයුතු ආරම්භ කිරීමට ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට යහපත් වේ. රැකියාමය කටයුතු වල වෙනදාට වඩා වගකීම් පැවරෙන නිසා ඔබ ඒ සෑම වගකිමක්ම නොපිරිහෙලා ඉටුකරන බව කිව යුතුයි. ඔබගේ වගකීම් ඔබ අන්‍යන්ට පැවරීමේදී කල්පනාකරිවිය යුතුයි. ගන්නාවූ ඕනෑම තීරණයක් තුලදී ඔබගේ ස්වාධින මතය අනුවම ඔබ කටයුතු කරන්නේ නම් ඔබට එළඹෙන වර්ෂය ජයග්‍රාහි වර්ෂයක් වන්නේය. අක්ෂි රෝග උගුර කන නාසය ආශ්‍රිත රෝග ශිර්ශගත රෝග පිළිබඳව සැලකිලිමත් වීම ඉතා යහපත්.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top