තවත් ලාංකික කතක් කුසට අහරක් නොමැතිව ඉතා අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කර ඇති බව සෞදි අරාබියේ කදුකර ප්‍රදේශයක් වන කමිස්මුසායිඩ් අබා ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරුව අසීර් ජාතික රෝහලේ හතරවන මහලේ හත්වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින්නේ මහනුවර උඩුවෙල හන්තාන පාරේ පදිංචිව සිට මිට ටික කලකට පෙර ගෘහ සේවිකාවක් ලෙස පැමිණි ෂෙරින් ලියෝනි කැතරිනා නමැති 45 හැවිරිදි දෙදරු මවක්.
අදාළ නිවසේ හිමිකාරයන් විසින් තමන්ගෙන් අධික ලෙස වැඩ ගන්න නමුත් රොටි(කුබුස්) කැබැල්ලක් හැරෙන්නට වෙන කිසිදු ආහාරයක් ලබා නොදෙන බව ඇය පවසනවා.
නිරාහාරව සිටිමින් අධික ලෙස වැඩ කිරීමේ හේතු මත රෝහල් ගත කළ ඇයව වෛද්‍යවරුන් පරීක්ෂා කිරීමේදී හෙළි වී ඇත්තේ උදරයේ මිදිගෙඩි තරම්වූ ගෙඩි විශාල ප්‍රමාණයක් ඇති බවයි.
ගෙහිමි සාමාජිකයින් විසින් නිවාස කිහිපයකම වැඩ කිරීමට ඇයව යොදවන බවත් එම නිවෙස්වල ඉතිරිවන කෑම බීම කුණු බක්කියට විසිකරන නමුත් කෑමට රොටි කැබැල්ලක් හැරෙන්නට කිසිවක් ඇයට නොදෙන බවත් ජෙඩා පිහිටි කොන්සියුලර් කාර්යාලයේ කම්කරු නිලධාරි මලික් මහතා සඳහන් කළා.