ඉකුත් 26 වැනි දින සාහසිකයකුගේ පොරෝ පහරකට ගොදුරුව බරපතළ තුවාල ලබා රෝහල්ගතව සිටියදී ජීවිතක්‍ෂයට පත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බාල සොහොයුරු ප්‍රියන්ත සිරිසේන (43) මහතාගේ බිරිඳ වන ගීතාංජනී සමන් කුමාරි (41) මහත්මිය හැඬූ කඳුළින් යුතුව තම සැමියාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශ කොට ඇත.
ඇය පවසන්නේ මෙම ඝාතනය සැලැස්‌මක් ඇතිව කරපු කුමන්ත්‍රණයක් බවයි.
‘‘මගේ මහත්තයාට මේ අපරාධය කරපු ගරාජ් එක අයිතිකාරයා මහත්තයාගෙන් විශාල වශයෙන් මුදල් ලබාගෙන තිබෙනවා. ඔහු මේ මුදල් ආපසු දෙන්න වෙන නිසා වෙන්න ඇති මේ අපරාධය කරන්න ඇත්තේ. මේක සැලැස්‌මක් ඇතිව කරපු කුමන්ත්‍රණයක්. අහස පොළොව නුහුලන අපරාධයක්. මගේ අහිංසක දරුවො තුන් දෙනාට තාත්ත කෙනෙක් නැති වුණා.‘‘
අභාවප්‍රාප්ත ප්‍රියන්ත සිරිසේන මහතාගේ දේහය කොළඹ සිට ඊයේ (29 දා) අලුයම 2.00 ට පමණ පොළොන්නරුවේ ලක්‍ෂඋයන, ඇතුමල්පිටිය පිහිටි ඒ මහතාගේ නිවස වෙත ගෙන එනු ලැබීය.
සිය දරුවන් තිදෙනාද සමග සැමියාගේ නිසසල දේහය අබියස සිට අදහස් දැක්‌වූ ගීතාංජනී සමන් කුමාරි මහත්මිය මෙසේද කීවාය.
"මේ සිද්ධිය වෙච්ච දවසේ 26 වැනිදා දවල් මගේ මහත්තයා ප්‍රියන්ත මට දුරකථනයෙන් කතා කරලා කිව්වා දරුවන්ටයි මටයි අවුරුද්දට ඇඳුම් අරන් දෙන්න කදුරුවෙල නගරයට එන්න කියලා. මම දරුවොත් එක්‌කල කදුරුවෙලට යන්න ටිකක් ප්‍රමාද වුණා. ඒ අතරතුර තමයි ප්‍රියන්තට කරදරයක් කියලා මට දැනගන්න ලැබුණේ. මම හීනෙකින් වත් හිතුවෙ නෑ මගේ මහත්තයාට කවුරුවත් මේ වගේ විපතක් කරයි කියලා.
මගේ අහිංසක දරුවන්ට තාත්තා කෙනෙක් නැති වුණා. එයා නිතරම කතා කළේ දරුවන්ගේ අනාගතය ගැනමයි. දරුවන්ට හොඳට උගන්වන්න ඕන කියලා තමයි කිව්වේ. ඉඩක් ලැබුණු හැම වෙලේම ඒ ගැන හොයලා බැලුවා. ඒ වගේ දරුවන්ටත් මටත් හරිම ආදරෙයි. මම දන්නා තරමට මහත්තයාට විශේෂයෙන් තරහකාරයෝ හිටියෙ නෑ. එයා හැමෝත් එක්‌කම හොඳින් හිටියා. වැලි ව්‍යාපාර කටයුතුවලදී සමහරු සමඟ හිත් අමනාපකම් තිබුණද දන්නේ නෑ.
මට අතක් උස්‌සන්න කෙනෙක් මේ පොළොන්නරුවේ නෑ කියලයි එයා නිතරම කිව්වේ. මම දන්නේ නැහැ. මගේ මහත්තයාට මේ වගේ අපරාධයක් කළේ ඇයි කියලා. මගේ මහත්තයාට මේ පොරොවෙන් ගහපු පුද්ගලයා මහත්තයාගේ හොඳම යාළුවෙක්‌ලු. ඔහුගේ ගරාජය පටන් ගන්නත් මුලින්ම සල්ලි දීල තියෙන්නේ මහත්තයා. ඒ වගේම ඉන් පසුවත් විශාල වශයෙන් මුදල් අරගෙන තිබෙනවා. මාත් එක්‌කල ඒ බව කියලා තිබෙනවා. මේ සිද්ධිය වුණු දවසෙ හවස ඔහු මුණගැහෙන්න එනවා කියලා දුරකථනයෙන් දැනුම් දීලයි ගිහින් තිබෙන්නේ. නමුත් ඒ වෙලාවේ ගෙදර ඉඳල නෑ. පස්‌සේ ඇවිත් මේ පහරදීම සැලසුම් කරලයි කරලා තියෙන්නේ. ඒ මනුස්‌සයාගේ තාත්තාට ගැහුව කියන එක අමූලික බොරුවක්. මගේ මහත්තයා එහෙම කරන කෙනෙක් නෙවෙයි.
මේ ගරාඡ් එක අයිතිකාරයා මගේ මහත්තයාගෙන් ගත්තු සල්ලි ආපහු දෙන්න වෙයි කියලා මේ අපරාධය කරන්න ඇති කියලයි මම හිතන්නේ.
ජනපති සොයුරු ප්‍රියන්තගේ අවසන් කටයුතු සිදුකල අයුරු
VIDEO
කරුණාරත්න ගමගේ