මැලේසියානු ගුවන් සමාගමට අයත් වූ MH370 ගුවන් යානය ක්වාලාලාම්පූර් ගුවන් තොටුපලෙන් නික්ම ගොස් ලොවටම අභිරහසක් ලෙසින් අතුරුදන්වී අදට වසරක් ගතවනවා. මේ වන විටත් එහි කිසිදු සාක්ෂියක් සොයාගත නොහැකි වී ඇති අතර එය මුහුදු පත්ලේ සැඟවී ඇති බවට පර්යේෂකයින් මත පලකරනවා.
එමෙන්ම තවත් පිරිසක් පසුගියදා ප්‍රකාශ කර සිටියේ එය ඇන්ටාටිකාවට ගමන් කිරීමට සැරසී ඇති බවයි.
ඔවුන් එසේ ප්‍රකාශ කර සිටියේ ගුවන්යානය අවසන් අවස්ථාවේ රේඩාර් පථයේ දර්ශනය වූ ආකාරය අනුව එය ඇන්ටාටිකාව දෙසට හැරී තිබීම නිසාවෙනුයි.
කෙසේ නමුත් පසුගියදා මෙම ගුවන් යානයේ සෝදිසි මෙහෙයුම් නතරකර දැමීමටද තීරණයකට එළඹ තිබුනා. ලොවම කම්පාවට පත්කරමින් මෙලෙස අතුරුදන් වූ ගුවන්යානය පිළිබඳව තවමත් තොරතුරු දැනගැනීමට බොහෝ පිරිසක් විමසිල්ලෙන් කටයුතු කරනවා.
යානය අතුරුදන්වී වසරක් සපිරීම නිමිත්තෙන් මලයාසියානු ගුවන් සේවය සිය මූලස්ථානයේ අනුස්මරණ උත්සවයක් පවත්වනවා. ගුවන් අනතුරෙන් අතුරුදන්වූ පවුල්වල සාමාජිකයන් ඊට සහභාගිවන අතර මලයාසියානු රජය ඒ සඳහා නිල අනුස්මරණ උත්සවයක් සංවිධාන කර නැහැ.