හදිසි කම්පනයකින් පුළුවන් මනුස්සයගේ ජීවිතයක් හොඳට හෝ නරකට එහෙම්පිටින්ම වෙනස් කරන්න. ගුරුවරයාගේ වියෝවෙන් දැනුණු කම්පනය නිසා මුරණ්ඩු හිත දමනයවෙලා ජීවිතය දිනූ ඔහු රොජර් ෆෙඩරර්.
1981 වසරේ අගෝස්තු අටවැනිදා ස්විට්සර්ලන්තයේ බේසල් හිදී රොජර් ෆෙඩරර් උපත ලබනවා. රොජර්ගේ පියා රොබට් ෆෙඩරර් සහ මව ලිනෙට් ෆෙඩරර්. දෙදෙනාම සේවය කළේ ඖෂධ සමාගමකයි. රොජර්ගේ පවුලට මුදල් හදල්වලින් කිසිම අඩුපාඩුවක් තිබුණේ නෑ.
ස්විට්සර්ලන්තය කියන්නේ ඒක පුද්ගල ආදායම ඉහළ මට්ටමක තියෙන, පුද්ගලයෙක්ට සතුටින් ජීවත් වෙන්න ඉතා සුදුසු රටක් විදිහට නම් කෙරුණු සාමකාමී රාජ්‍යයක්. ඒ නිසා රොජර්ගේ ළමා කාලයක ගත වෙන්නේ කිසිදු අඩුපාඩුවකින් තොරවයි.
පාසල් කාලයේ පටන් ක්‍රීඩාවට වැඩි ඇලුම්කමක් දක්වන රොජර් ටෙනිස් සහ පාපන්දු ක්‍රීඩා සඳහා යොමු වෙන්නේ වයස අවුරුදු අටක් තරම් කුඩා කාලයේදී. කලක් ගත වෙද්දී ඔහුට ඉක්මනින්ම තේරුම් යනවා තමන්ගේ ඇතුළාන්තය ඉල්ලන්නේ ටෙනිස් ක්‍රීඩාව කියන දේ. ඒ ඔස්සේ ඔහු තමන්ගේ මාවත තීරණය කරලා ටෙනිස් ක්‍රීඩාව ප්‍රගුණ කරන්න උත්සාහ කරනවා.
වයස අවුරුදු 11 සම්පූර්ණ වෙද්දී ස්විට්සර්ලන්තයේ සිටින හොඳම කනිෂ්ඨ ටෙනිස් ක්‍රීඩකයන් අතර මුල්තැන වැජඹෙන්න රොජර්ට හැකියාව ලැබුණා. වයස අවුරුදු දාහතරේදී වඩාත් ස්ථාවර ටෙනිස් තරුවක් විදිහට ඔහු ස්විට්සර්ලන්තය තුළ තමන්ගේ හැකියාව පෙන්වන්න ගත්තා. දිනපතා පැය හයක් ක්‍රීඩා පිටියේ ගත කරමින්, ව්‍යායාම කරමින් මාසයකට තරගාවලි දෙක තුනකට අනිවාර්යයෙන්ම සහභාගි වෙමින් ඔහු පෙන්නුවා ඉතාම සාර්ථක ටෙනිස් ගමනක ලකුණු. 1996 දී වයස අවුරුදු දහසයක් සම්පූර්ණ කරපු ඔහු අන්තර්ජාතික ටෙනිස් සම්මේලනයේ සාමාජිකයත්වය අරගෙන වයස අවුරුදු 18දී ටෙනිස් ක්‍රීඩාවේ උත්තරීතර තරගාවලිය ලෙස සලකන විම්බල්ඩන් තරගාවලියේ කනිෂ්ඨ ශුරතාව දිනා ගන්න පවා සමත් වෙනවා.
මේ කතාව දිගින් දිගටම රොජර්ගේ ජයග්‍රහණ ගැන විතරක්ම පාදක කරගෙන ලියාගෙන යන්න පුළුවන්. මොකද ඔහු ඒ තරමට අඩු වයසින් වැඩ පෙන්නලා ඉදිරියටම ආපු චරිතයක්. ඒත් ක්‍රීඩාව අතින් අතිදක්ෂයෙක් වුණත් පුද්ගලයෙක් ලෙස ගත්තහම රොජර්ගේ විශාල අඩුපාඩු තිබුණා. ඒ තමයි ඔහුට ඉතාම ඉක්මනින් කේන්ති යන එක. සරලවම කිව්වොත් ඔහු කුකුළු කේන්තිකාරයෙක්. ප්‍රතිවාදියා ලකුණක් ගත්තොත් එහෙමත් නැත්නම් තරගයක ඵඥබ එකක් ජයග්‍රහණය කළොත් ඔහු තමන්ගේ රැකට් එක පොළොවේ ගසා අඩි හප්පා කෑ ගසමින් තමන්ගේ විරෝධය ප්‍රකාශ කළා. ක්‍රීඩා පිටියේ සිදුකරන මේ නොසන්සුන්කාරී හැසිරීම ඔහුගේ රසික පිරිස ක්‍රම ක්‍රමයෙන් අඩු වෙන්නත් හේතුවක් වුණා. මේ ගැටලුව සම්බන්ධයෙන් ඔහුගේ මවුපියන් නිරන්තර විසඳුම් හෙව්වත් ඒ කිසිම දෙයකින් පලක් වුණේ නැහැ.
රොජර්ගේ ගැටලුවට බෙහෙත් දෙන්න දැනගෙන හිටියේ එකම පුද්ගලයෙක් විතරයි. ඒ තමයි ඔහුගේ ටෙනිස් පුහුණුකරු. රොජර්ට තියෙන ආකල්පමය ගැටලු සහ කුකුළු කේන්තිය හදාගත්තොත් මීටත් වඩා සාර්ථක ගමනක් යා හැකි බව ඔහුගේ පුහුණුකරු දැනගෙන හිටියා. ඒ නිසා ටෙනිස් ක්‍රීඩාව සම්බන්යෙන් පුහුණුවීම දෙන අතරේදීම හෙමීට ඔහුගේ මොළයට සාමකාමීව ජීවත්වීමේ වැදගත්කම ඇතුළු කරන්න පුහුණුකරු මහන්සි වුණා.
රොජර්ගේ ජීවිතය නොසිතූ විරූ ලෙස වෙනස් වෙන්නේ ඔහුගේ පුහුණුකරු හදිසි රිය අනතුරකින් මියයෑමත් සමඟයි. මෙතෙක් කල් ජයග්‍රහණයේ උද්දාමයෙන් අහසේ හිටපු රොජර් මේ සිද්ධියෙන් පස්සේ කෙළින්ම මහ පොළොවට ඇදගෙන වැටුණා. ඔහුට යථාර්ථය වැටහෙන්න ගත්තා. ඔහුට තේරුණා මෙතැනින් එහාට තමන්ගේ වෙනසක් සිදු කර ගත්තේ නැත්නම් අනාගතයක් නෑ කියන එක. පුහුණුකරු ලබාදුන් ගුරුහරුකම් වෙනදාට වැඩිය පිළිපදින්න රොජර් පෙලඹෙනවා. ඔහු ඉතාම සාමකාමී චරිතයක් බවට පත්වුණා. ඒ ඔස්සේ ඔහුගේ පෙනුමේත් ප්‍රසන්නතාව එන්න එන්නම වැඩිවෙන්න ගත්තා. හිත නිවිලා තියෙන හින්දා මානසික ඒකාග්‍රතාවත් වැඩි හින්දා ඔහුට වෙනදාට වැඩිය තමන්ගේ ක්‍රීඩාවේ දක්ෂතා පෙන්නන්නත් හැකියාව ලැබුණා.
විසි වතාවක්ම Grand Slam දක්ෂතාව වාර්තා කළ ඔහු දිනා ඇති විම්බල්ඩන් ශුරතා ගණන අටක්. පසුගිය 14 වැනිදා නිමා වුණු විම්බල්ඩන් තරගාවලියේදී ඔහු සර්බියාවේ නොවැක් ජොකොවිච්ට පරාජය වෙනවා. තරගයක ස්වභාවය එයයි. නමුත් ඔහුගේ ප්‍රධාන අඩුපාඩුව හදාගත්ත එක තමයි ජිවිතයේ ලැබූ විශාලම ජයග්‍රහණය.
ලෝක ඉතිහාසයේ බිහි වූ ජනප්‍රියතම ටෙනිස් තරුව විදිහට රොජර් ෆෙඩරර් නම් කිරීමේ කිසිදු වැරැද්දක් නෑ. ඒ තරමට ඔහුට ආදරය, ගෞරවය දක්වන පුදුමාකාර රසික ප්‍රජාවක් ලොව පුරා සිටිනවා. ටෙනිස් විශ්ලේෂකයෝ සියල්ලෝම පිළිගන්නවා ඔහු තමයි මෙතෙක් පහළ වූ ශේ්‍රෂ්ඨතම ටෙනිස් ක්‍රීඩකයා යන කරුණ. රොජර් ෆෙඩරර් කියන්නේ ජීවමාන පුරාවෘත්තයක්. අවුරුදු 37ක් වෙලත් තාමත් ඔහුගේ ක්‍රීඩා කෞෂල්‍යය එලෙසමයි. තමන්ම හිතලා තමන්ගේ වැරැදි හදාගත්තොත් ගමන සුබයි.