අයියයි, සන්දීපයි මමයි දවල්ට කාලා පොත් වගයක් ඉල්ලගන්න රවිඳුලාගේ ගෙදර ගියා. රවිඳු හිටියේ නැති නිසා අයියා කිව්වා ළඟටම ආපු එකේ අපි ඔයෙන් නාලම යමු කියලා. අපි තුන්දෙනාම ඔයේ අඹගහවත්ත මංකඩ කියන තැනින් නෑවා. ගොඩ එද්දී මගේ රබර් සෙරෙප්පුව වතුරට වැටුණා. අයියා ඒක අරගෙන දෙන්න ආයෙත් වතුරට බැස්සා. සෙරෙප්පුව ඈතට ඇදුණු නිසා අයියා ඒක අල්ලන්න යද්දීම දිගේ ගිලුණා.
මම අයියාව අල්ලද්දී අයියා මා බදාගත්ත නිසා දෙන්නම යට ගියා. පස්සේ සන්දීප ළඟ තිබූ ලීයක් දික් කළ නිසා මම ඒකේ එල්ලුණා. ගොඩට ඇවිත් බලන විට අයියා එල්ලිලා හිටියේ නෑ. නැවත උඩ ආවෙත් නෑ. දිය බුබුළු මතු වුණා. අපි කෑ ගැසුවා එවිට වටාපිටාවේ මාමාලා කීපදෙනෙක් පැනලා අයියව හෙව්වත් අයියාගේ සිරුර හොයාගන්න සෑහෙන්න වෙලාවක් ගියා.
පඩිවෙල කරඹලන් ඔයේ ගිලී මිය ගිය 15 හැවිරිදි සිසුවාගේ මරණය දෑසින් දුටු ඔහුගේ බාල සොහොයුරු වූ මධුෂ චන්දික කුමාර (14) සිසුවා එසේ පැවැසීය.
මෙසේ අවාසනාවන්ත ලෙස දියේ ගිලී මියගොස් ඇත්තේ බරාගෙදර අනගාරික ධර්මපාල විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ලක්ෂාන් ලක්මාල් කුමාර නමැති දරුවෙකි.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම් වන ඔහුට පාඩම් කිරීමට තබා හැරෙන්නටවත් ඉඩක් නොමැති පුංචි නිවස මහත් අපහසුතාවක් විය. කුලියක් කරගෙන කීයක් හෝ රැගෙන එන අම්මාට කරදර කිරීමෙන් පලක් නොවන බව වටහා ගත් පුංචි ලක්ෂාන් එදින මල්ලිත් සමග එක්වී ඉටිරෙදිවලින් වටකර පාඩම් කාමරයක්ද හැදීය.
අනතුරුව නිවසට පැමිණි යහළුවකු වූ සන්දීපත්, මල්ලීත් සමග කරඹලානේ රවිඳුගේ නිවසට ගියේත් මේ අලුත් කාමරයේ සිට (මේස, පුටු කිසිවක් නැතත්) පාඩම් කරන්නට අවශ්‍ය පොත් කීපයක් ඉල්ලා ගැනීමටයි. නමුත් ඔහු ආපසු ආවේ පෙට්ටියක් තුළ වැතිර ගෙනයි.
ලක්ෂාන්ගේ මිත්තණිය වූ මාග්‍රට් නෝනා (67) මාතාව හඬමින් මෙසේ පැවසුවාය.
මේ ලොකු දුවගේ දරුවෝ දෙන්නා ලොකු පුතා මොනතරම් ප්‍රශ්න තිබුණත් ඉගෙන ගන්න ඕනෑකමක් දැක්වූවා. ඒකෙන් තමයි අපිට ගොඩ එන්න පුළුවන් කියලා හැමදාම කිව්වා. මේ සිද්ධිය වූදා පුතාලා දෙන්නම ගේ හැදුවා. දුව හිටියේ නෑ. සවස කොහෙද යන්න හදද්දී මම එපා අම්ම එනතෙක් ඉන්න කිව්වා. යාළුවකුගෙන් පොත් වගයක් ඉල්ලන්න යන්නේ කියලා පිටත් වෙලා ගියා. සවස ආරංචි වුණා කරඹලන් ඔයේ ළමයෙක් ගිලිලා කියලා.
වරාගෙදර මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති සුජීව බණ්ඩාර මීරියහාගල්ල මහතා මෙසේ පැවැසීය.
මේක දරුවන්ට පමණක් නොවේ දෙමාපියන්ටත්, ගුරුවරුන්ටත්, අපල කාලයක්. මෙවැනි විපත්, අනතුරු කොතෙකුත් වාර්තා වුණත් ඒවායින් පාඩමක් ඉගෙන ගන්නා බවක් පේන්න නෑ.
මේ සිද්ධිය නිවාඩු දිනයක සිදුවුනත් වැඩිහිටියන්ගේ දරුවන්ගේ ගමන් බිමන් ගැන අවධානයෙන් සිටිය යුතුයි. දරුවන් පාසලට එව්වා කියා තමන්ගේ වගකීම ඉවර නෑ. පාසල නිමවූ පසුවත් සෙවිල්ලෙන් සිටිය යුතුයි. මේ මංකඩට නාන්න පාසල් දරුවන් පාසල නිමවී යන විට එන බවත් ආරංචියි. මේ ගැන වහා සොයා බැලිය යුතුයි. කෙසේ වුවත් ලක්ෂාන්ගේ දේහය තැන්පත් කිරීමට සුදසු නිවසක් ඔහුට නැත.
කුලියාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ලසන්ත ද සිල්වා මහතා කුලියාපිටිය රෝහලේ දී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීය. බිංගිරිය පොලිසියේ පො. සැ. මහින්ද (54291) මහතා සාක්ෂි මෙහෙයවීය.
ළහිරු මධුසංඛ - බිංගිරිය / විමල් රණසිංහ - කුලියාපිටිය