සිනමා තිරයෙන් මෙන්ම පුංචි තිරයෙන් දැකගන්න ලැබෙන නෙතු ප්‍රියංගිකා විවාහ ජිවිතයට ආරම්භය ගන්න සුදානම් කියලා ආරංචියි. නිර්මාණ කටයුතු එක්ක කාර්ය බහුල වෙන නෙතූ ආදරේ ගැන හා විවාහ ගැන මේ විදිහට පුවත්පතක් එක්ක කතා කර තිබුණා. මේ ඒ ගැනයි.
ජීවිතේ අලුත් පිටුවක් පෙරළන්න ළඟයි නේද?
ඕනම කෙනෙක්ගේ ජීවිතේ දෙවැනි උපත කිව්වොත් හරි. මගේ ජීවිතේ මෙච්චර කාලෙකට හැමදේම නිවැරදිව කරගන්න මට පුළුවන් වුණා. ඒ වගේ මගේ විවාහයත් නිසි කාලෙදි නිසි විදිහට කර ගන්න මම තීරණය කළා. තව මාස කිහිපයකින් මගේ විවාහය සිදු කිරීම සඳහා මේ දවස්වල කටයුතු සූදානම් කරමින් සිටිනවා. ඒ වගේම කලා ක්ෂේත්‍රයේ කටයුතුත් අඩුවක් නැතුව කරගෙන යනවා.
* ඔබේ පෙම්වතා ගැනත් විස්තර ටිකක් කියමු නේද?
මම නිළියක් වුණාට එයා ආරක්ෂක අංශයේ සේවය කරන කෙනෙක්. එයාගේ නම නුවන් ජීවන්ත. එයාගේ වෘත්තියයි මගේ වෘත්තියයි එකිනෙකට වෙනස් වුණාට එයා මේ ක්ෂේත්‍රය පිළිබඳව හොඳ අවබෝධයකින් ඉන්න කෙනෙක්.
* මේ ප්‍රේම සම්බන්ධතාව ආරම්භ වුණෙත් අහඹු විදිහට නේද?
මගේ හිතේ තිබුණා මුල ඉඳලම ආදර සම්බන්ධයකින් විවාහ වෙනවා කියන දේ. ඔහු මම මුලින්ම දැක්කේ නුවරදී. එතකොට එයා හිටියේ රාජකාරි කටයුත්තක. එයත් මාව දැකලා තිබුණා. එයා මම නෙතූ ප්‍රියංගිකා කියලා හඳුනාගෙන තිබුණා. පස්සේ ෆේස් බුක් එකේ මට කෙටි පණිවුඩයක් තියලා තිබුණා. ඊට පස්සේ ටික ටික කතා කරන්න ගත්තා. එයාට මාව විශේෂත්වයක් වෙලා තිබුණා වගේම මටත් එයාව දැකපු දවසෙ ඉඳලම විශේෂ කෙනෙක් වුණා.
අදටත් එයා කියන දෙයක් තමයි එයාට මාව ලැබුණේ මම රංගන ශිල්පිනියක් නිසා කියන දේ ඒ නිසාම එයා මගේ වැඩකටයුතුවලට මට හරියට උදව් කරනවා. අපේ ආදර කතාවට දැන් අවුරුදු හතරක් විතර වෙනවා.
* මේ ප්‍රේම කතාවට දෙන්නාගේම පවුල්වලින් අවසරය ලැබුණද?
මුල් කාලෙදි නම් පොඩි පොඩි අවවාද ලැබුණා. වෘත්තීය ක්ෂේත්‍ර දෙකක නිසා තමයි ඒ වගේ අවවාදයක් වුණත් කළේ. මුල් කාලෙදි මම වුණත් ටිකක් බය වුණා. මොකද මට එයාගේ රාජකාරියත් එක්ක ගැළපෙන්න පුළුවන් වෙයිද කියලා. ඒත් ටික කාලයක් යනකොට මම තේරුම් ගත්තා ආරක්ෂක අංශවල සේවය මොන වගේද කියන දේ. ඒ නිසා දැන් අපි දෙන්නා හොඳට තේරුම් අරගෙන ඉන්නේ. කෙටි කාලයකින් විවාහය කෙළවර කර ගන්නවට වඩා හොඳින් තේරුම් අරගෙන විවාහ ජීවිතයට ඇතුළත් වෙන එක තමයි වැදගත් වෙන්නේ.
* ඔබේ විවාහ උත්සවය වෙනස් විදිහට කරන්න සැලසුම් කරමින් ඉන්න බවක් ආරංචි වුණා. මොකක්ද වෙනස?
මම ගමක ඉපදුණ කෙල්ලෙක්. මගේ ගම පුස්සැල්ලාව. ගමේ හැමෝම මට හුඟක් ආදරෙයි. ඒ නිසා මම හිතුවා මගේ විවාහය ලස්සනට ගමේ කරන්න ඕන කියලා. මගේ පෙම්වතාත් ගෙදර අයත් ඊට කැමැති වුණා. මම අවුරුදු ගාණක් ඉන්නෙ කොළඹ නිසා මගේ කලා ක්ෂේත්‍රයේ යහළු යෙහෙළියෝ හැමෝටමත් මගේ විවාහ උත්සවයට ආරාධනා කරනවා. දුර වැඩි නිසා සමහර කාර්යබහුල යහළු යෙහෙළියන්ට සහභාගි වෙන්න බැරි වුණත් මම තරහ වෙන්නෙ නැහැ.
* විවාහයෙන් පසුව කලා කටයුතු සීමා වෙයිද?
නැහැ. කලා කටයුතු නම් සීමා කරන්නෙ නැහැ. මම නතර කළත් මගේ පෙම්වතා මාව උනන්දු කරනවා. නමුත් ඉතින් තවත් වසර කිහිපයක් යනකොට යම් යම් සීමා මමම ඇති කර ගන්න ඉඩ තියෙනවා. විවාහයත් සමග ඕනම කෙනෙක් මව් පදවිය බලාපොරොත්තු වෙනවානේ. තවත් අවුරුද්දක් දෙකක් යනකොට ඒ වගේ කාර්යබහුල වෙන්න ඉඩ තියෙනවා.
* වර්තමාන කලා කටයුතු පිළිබඳවත් කතා කරමු නේද?
දැනට එක ටෙලි නාට්‍යයක් විකාශනය වෙනවා. තවත් හොඳ චරිත කිහිපයක් සඳහා රංගනයෙන් දායක වුණු ටෙලි නාට්‍ය කිහිපයක් ඉදිරියට එන්න තියෙනවා. ඊට අමතරව මේ දවස්වල විදෙස් නිෂ්පාදනයක් ලෙස ලංකාවේ රූගත කෙරෙන චිත්‍රපටයක රඟපෑම් කටයුතු සිදු කෙරෙනවා. ඊටත් අමතරව මේ දවස්වල මා රඟපෑ ඇලඩින් සහ පුදුම පහන චිත්‍රපටය විකාශය වෙනවා. ඒ වගේම මම ඉතාම ඉක්මනට මගේ විවාහ උත්සවයේ ඡායාරූපයක් රසිකයන්ට බලන්න දෙනවා කියලා කියන්න කැමැතියි.
නෙරංජලා වික්‍රමසිංහ