ඒ දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිවරයා ඉතාමත් අවාසනාවන්ත විදිහට මහමඟදී ජීවිතක්ෂයට පත්වීමේ පුවතයි. අද (18) අලුයම දඹුල්ල - හබරණ ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී තමයි මේ මහා ඛේදවාචකය සිද්ධවෙලා තියෙන්නේ.
මේ අවාසනාවන්ත අනතුරෙන් ජීවිතයෙන් සමුගත්තේ දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ, වයස අවුරුදු 38ක් පමණක් වූ ජානක විජේසිංහ මහතායි. ඔහු දරු පැටවුන් දෙදෙනෙකුගේ ආදරණීය පියෙක්.
සිද්ධිය වෙලා තියෙන්නේ මෙහෙමයි. ත්‍රිකුණාමලයේ ඉඳලා කොළඹ බලා ධාවනය වෙමින් තිබුණු අධි සුඛෝපභෝගී බස් රථයේ වේගය රියදුරුට පාලනය කරගන්න බැරිවෙලා තියෙනවා. ඊටපස්සේ බස් එක මාර්ගයේ වැරදි පැත්තට (ප්‍රතිවිරුද්ධ දිශාවට) පැනලා වේගයෙන් ඉදිරියට ඇවිත්. ඒ මොහොතේ දඹුල්ලේ ඉඳලා හබරණ පැත්තට යමින් තිබුණු විදුහල්පතිතුමාගේ මෝටර් රථයේ මේ වේගයෙන් ආපු බස් රථය මුහුණට මුහුණ ගැටිලා.
ගැටුණු පාරටම විදුහල්පතිතුමාගේ කාර් එක පාරෙන් ඉවතට විසිවෙලා ගිහින්. හැබැයි බස් එක එතනින් නතර වෙලා නෑ! ඒ වේගෙන්ම තවත් දුරක් ගිහින් එතන නවත්තලා තිබුණු තවත් මෝටර් රථයක් යට කරගෙන, අසල තිබුණු අවන්හලකටත් කඩාගෙන වැදිලා තමයි බස් එක නතර වෙලා තියෙන්නේ.
අනතුරෙන් මෝටර් රථය සම්පූර්ණයෙන්ම කුඩුපට්ටම් වෙලා ගිහින් තිබුණු නිසා විදුහල්පතිතුමා රථය ඇතුළේ හිරවෙලා. ඔහුව එළියට ගන්න ගමේ මිනිස්සුන්ට විනාඩි 45කට ආසන්න කාලයක් දැඩි පරිශ්‍රමයක් දරන්න සිද්ධ වෙලා තියෙනවා. කොහොම හරි ලොකු උත්සාහයකින් පස්සේ ඔහුව එළියට අරගෙන දඹුල්ල මූලික රෝහලට අරන් ගියත්, ඒ වෙද්දිත් ඒ වටිනා තරුණ ජීවිතය මේ ලෝකෙන් සමුගෙන ඉවරයි.
මේ අනතුර නිසා බස් රථයේ ගමන් කරපු තවත් දෙදෙනෙකුත් තුවාල ලබා රෝහල්ගත කරලා තියෙනවා. කෙසේ වෙතත්, මේ නොසැලකිලිමත් ධාවනයෙන් වටිනා ජීවිතයක් බිලිගත් බස් රථයේ රියදුරුව මේ වනවිටත් දඹුල්ල පොලිසියෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අවසන්.