හැබැයි මුහුණු පොතෙන් හඳුනගත්තු ලංකාවේ පෙම්වතියව බලන්න ඉන්දියාවේ ඉඳන් ජීවිතේ පරදුවට තියලා ආපු 17 හැවිරිදි ඉන්දීය ජාතික තරුණයෙක්ට නම් අන්තිමේදී යන්න වුණේ හිරගෙදරටයි.
මේ සංවේදී වගේම පුදුම හිතෙන ආදර කතාවේ තොරතුරු දිගහැරෙන්නේ මෙහෙමයි..
ඉන්දියාවේ රාමේශ්වරන් ප්‍රදේශයේ පදිංචි මේ තරුණයා පාසල් ගමනත් අතහැරලා ධීවර රස්සාවේ නිරත වෙන කෙනෙක්. මීට මාස කිහිපයකට කලින් ෆේස්බුක් හරහා මෙයාට ලංකාවේ කිලිනොච්චිය, මුලන්කාවිල් ප්‍රදේශයේ පදිංචි දැරියක් මුණගැහෙනවා. කාලයත් එක්ක මේ යාළුකම ආදරේකට පෙරළිලා, පෙම්වතියගෙන් කොල්ලට ලංකාවට එන්න කියලා ආරාධනාවකුත් ලැබිලා තියෙනවා.
කෙල්ලව බලන්න එන්න කොච්චර ආසාවක් තිබුණත් බෝට්ටුවකට ගෙවන්න තරම් සල්ලි කොල්ලා ගාව තිබිලා නෑ. ඒ නිසා තමන් පැළඳගෙන හිටපු රන් මාලය බෝට්ටුකාරයාට දීලා තමයි මේ අනතුරුදායක ගමන පටන් අරන් තියෙන්නේ.
හැබැයි බෝට්ටුකරු මේ තරුණයාව රවට්ටලා. ලංකාවට ගෙනත් දානවා වෙනුවට, ආදම්ගේ පාලම (Adam's Bridge) විදිහට හැඳින්වෙන වැලි පර සමූහයේ 'හයවැනි වැලි පරය' උඩ මේ කොල්ලව තනි කරලා බෝට්ටුකාරයා ආපහු ඉන්දියාවටම පැනලා ගිහින්.
ඉකුත් 11 වැනිදා හවස මුර සංචාරයේ යෙදිලා හිටපු මන්නාරම තම්මැන්නා නාවික හමුදා කඳවුරේ නිලධාරීන්ට තමයි මේ තරුණයාව තනිවම ඉන්නවා දැකලා අත්අඩංගුවට ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ වෙලාවේ කොල්ලා ගාව තිබිලා තියෙන්නේ පෙම්වතියගේ ෆොටෝ එකක්, එයා එවපු පෙම් හසුනක් සහ ඉන්දියානු රුපියල් 280 ක මුදලක් විතරයි.
නාවික හමුදාව විසින් මේ ළමයාව තලෙයිමන්නාරම පොලිසියට භාර දීමෙන් පස්සේ, 12 වැනිදා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. එතනදී අධිකරණය නියෝග කරලා තියෙන්නේ මේ පිරිමි ළමයාව පරිවාස භාරයට පත් කරන්න කියලයි.
මේ සිදුවීම ගැන මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයටත් දැනුම් දීලා තියෙන අතර, තලෙයිමන්නාරම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා. කොහොම වුණත් ෆේස්බුක් එකෙන් පටන් ගත්තු මේ ආදර කතාවේ අවසානය නම් සතුටුදායක එකක් වුණේ නෑ.