පාසලේ වැඩ භාරගත්තට පස්සේ එවකට හිටපු විදුහල්පතිතුමා විසින් එතුමාට පවරන්නේ 4 ශ්‍රේණියේ පන්තිභාරකාරත්වය. හැබැයි ඒ පන්තියේ තිබුණු අමුතුම විශේෂත්වය වුණේ මුළු පන්තියටම හිටියේ එකම දරුවන් දෙදෙනෙක් විතරක් වීමයි.
පසුව එම දරුවන් දෙදෙනා සමඟින්ම 5 ශ්‍රේණියටද පියනගමින් ඔවුන්ගේ ඉගෙනුම් කටයුතු තමන්ගේ කරමත තබාගෙන ඉදිරියට ගිය මෙම තරුණ ගුරුතුමාට එක් සුවිශේෂී තොරතුරක් දැනගන්න ලැබෙනවා. ඒ තමයි, මේ පාසලෙන් අවසන් වරට 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්ව තිබුණේ 2019 වසරේදී එවකට සිටි විදුහල්පතිතුමාගේ දියණිය විතරයි කියන එක. ඉන්පස්සේ කිසිදු දරුවෙකුට එම කඩඉම පසුකර ගන්න ලැබිලා තිබුණේ නැහැ.
ඒ නිහඬ ඉතිහාසය වෙනස් කරමින්, තමන්ගේ පන්තියේ ඉන්න මේ එකම දරුවන් දෙදෙනාව කෙසේ හෝ ශිෂ්‍යත්ව කඩඉමෙන් එතෙර කරවීමේ දැඩි අධිෂ්ඨානයක් සහ නොසැලෙන කැපවීමක් රුක්ෂාන් ගුරුතුමා තුළ ඇති වෙනවා. පහසුකම් අවම දුෂ්කර පාසලක සේවය කළත්, කිසිදු අමනාපයකින් තොරව හදවතින්ම පාසලටත් දරුවන්ටත් ආදරය කරමින් ඔහු කරපු ඒ අප්‍රතිහත කැපවීමේ අගනා ප්‍රතිඵලය අද දින මල්පල ගන්වන්නට ඔහුට හැකිවුණා.
ඒ කැපවීම සැබෑ කරමින් එම දරුවන් දෙදෙනාම මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය විශිෂ්ට ලෙස සමත් වී තිබෙනවා...
ජීවිතයේ තමන් කොතෙක් විභාග සමත් වී තිබුණත්, තමන්ගේ පළමු ගෝලයන් දෙදෙනා ලබාගත් මේ ජයග්‍රහණය තරම් සතුටක් තමන්ගේ මුළු ජීවිතයටම කිසිම දවසක දැනිලා නැති බවයි ගුරුතුමා පවසන්නේ. එමෙන්ම, මේ සාර්ථකත්වයේ සම්පූර්ණ ගෞරවය තමන් විතරක් නොගෙන, මේ දරුවන්ට "අ" යන්නේ සිට අකුරු ඉගැන්වූ සියලුම ගුරුභවතුන් වෙනුවෙන් කෘතවේදීව උපහාර පුද කිරීමට තරම් ඒ ගුරු හදවත නිහතමානී වී තිබීමත් විශේෂත්වයක්.
තමන් ලැබූ දැනුමෙන් අන් අයගේ ජීවිත ආලෝකවත් කරන්නට යොදවන මෙවන් ගුරුවරුන් සැබවින්ම අපේ සමාජයට ආදර්ශයක්. දුෂ්කරතා හමුවේ නොසැලී කැපවෙන මෙවන් ගුරුවරුන් සහ සීමිත පහසුකම් මැද අනාගතය දිනන්නට වෙරදරන මෙවන් දරුවන් අපේ රටට ලොකු අභිමානයක්...