මෙසේ අවාසනාවන්ත ලෙස නොසිතූ මොහොතක අප අතරින් සමුගෙන ගොස් ඇත්තේ ගලහා, නිල්ලඹ, කුරුකැලේ ප්‍රදේශයේ පදිංචිව සිටි සනුදි ලක්ෂාණි නමැති 07 හැවිරිදි පුංචි දියණියයි.
පසුගිය 02 වැනිදා සවස්වරුවේ සනුදි දියණිය තමන්ගේ අක්කලා නැඟණියන් සමඟ නිවසේ හරි හරියට සෙල්ලම් කරමින් ඉඳ තිබෙන්නේ හරිම සතුටින්. ඒ අතරතුර දෙමාපියන්ගේ ඇසට නොදැනෙන්නට කුස්සියේ තිබූ සියඹලා ටිකක් අරගෙන සෙල්ලම් කරමින් කෑමට ගිය මොහොතේ, එකපාරටම සියඹලා ඇටයක් ඇගේ උගුරේ සිරවී තිබෙනවා.
දියණිය හුස්ම ගන්නට අපහසුවෙන් පොරබදින අයුරු දුටු මව සහ ඥාතීන් මහත් කලබලයට පත්ව, ඇගේ ජීවිතය කෙසේ හෝ බේරාගැනීමේ අරමුණින් වහාම ලොරි රථයකින් පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත ඇයව රැගෙන යාමට කටයුතු කර තිබුණා.
නමුත් අවාසනාවට මෙන්, පුංචි සනුදිගේ පණ නළ රැකගන්නට නොහැකි වී ඇත්තේ රෝහල වෙත ළඟාවීමටත් පෙරම ඇය මෙලොවින් සමුගෙන තිබීම නිසයි. පුංචි දියණියගේ දේහය දැනට පේරාදෙණිය රෝහලේ තබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගලහා පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
පුංචි දරුවන් ඉන්න දෙමාපියන්ට මේ කතාව ලොකු පාඩමක්. දරුවන් පුංචි දෙයක් කටේ දාගත්තත් ඒ ගැන සදා විමසිල්ලෙන් සිටීම කොයි තරම් වටිනවාද කියලා මේ අවාසනාවන්ත සිදුවීම අපට මතක් කර දෙනවා.