ඒ මෙක්සිකෝවේ සුප්‍රකට ‘Camilo Séptimo’ ඉන්ඩි රොක් සංගීත කණ්ඩායමේ යතුරුපුවරු වාදකයා වූ 38 හැවිරිදි ජොනතන් මෙලෙන්ඩෙස් ඇතුළු ඔහුගේ සමස්ත පවුලම අතිශය ම්ලේච්ඡ අන්දමින් ඝාතනය කර තිබීමයි.
වඩාත්ම සංවේගජනක කරුණ වන්නේ, මේ අමානුෂික ප්‍රහාරයට ලක්වන විට ඔහුගේ 35 හැවිරිදි ආදරණීය බිරිඳ ඇනා පෝලා මාස හතරක බිළිඳකු කුසේ දරා සිටි ගැබිනියක වීමයි. මිනීමරුවන්ගේ තිරිසන්කම කෙතරම්ද යත්, ඔවුන්ගේ 3 හැවිරිදි සුරතල් දියණියට මෙන්ම නිවසේ සේවය කළ 21 හැවිරිදි තරුණියට සහ සුරතල් බලු පැටියාට පවා කිසිදු සමාවක් දී නැහැ.
මෙක්සිකෝ සිටි ආසන්නයේ පිහිටි ආරක්ෂිත ප්‍රභූ නේවාසික ප්‍රදේශයක පිහිටි නිවසකයි මෙම සංහාරය සිදුව ඇත්තේ. විමර්ශන වාර්තා අනාවරණය කරන අන්දමට, ඝාතකයන් දෙදෙනෙකුගේ දෑත් බැඳ දමා ඇති අතර, සුරතල් බලු පැටියාගේ පවා පාද ගැටගසා මරා දමා තිබෙනවා. කුඩා දැරිය ඇතුළු තිදෙනෙකුගේ හිසටම වෙඩි තබා ඇති අතර අනෙක් තැනැත්තාගේ පිටකොන්දට වෙඩි තබා ඇත්තේ අතිශය මිලේච්ඡ අන්දමිනි.
කෙසේ වෙතත්, මේ සාහසික මරණයේ සෙවණැලි මැද එක් ආශ්චර්යයක්ද සිදුව තිබෙනවා. ඒ එම නිවසේ සිටි 6 හැවිරිදි පිරිමි දරුවාට කිසිදු සීරීමක්වත් සිදු නොවී ජීවිතය බේරී තිබීමයි.
මේ මහා අපරාධය පිටුපස සිටින්නේ පිටස්තරයෙක් නොවන බව හෙළිවීම මුළු මහත් ප්‍රජාවම භීතියට පත්කර තිබෙනවා. පොලිසිය කළ කඩිනම් මෙහෙයුමකින් පසු අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අතර සිටින ප්‍රධාන සැකකරු වන්නේ ජොනතන්ගේම සමීපතම හිතවතෙකු වන ඩියාගෝ සෙබස්තියන් නමැත්තායි.
මෙක්සිකෝ ආරක්ෂක අමාත්‍යවරයා පවසන පරිදි, මෙම ඝාතකයා නිවසට ඇතුළු වී ඇත්තේ පවුලේ අය සමඟ තිබූ දැඩි හිතවත්කම සහ විශ්වාසය අවභාවිත කරමිනි. හිතවතෙකු යැයි සිතා විවර කළ නිවසේ දොර අවසන් වූයේ මුළු පවුලකම සුසාන භූමිය බවට පත්වෙමිනි.
සංගීතයෙන් දහස් ගණනක් සුවපත් කළ තරුණ කලාකරුවාටත්, නූපන් බිළිඳාටත්, අහිංසක දියණියටත් අත්කර දුන් මේ අවාසනාවන්ත ඉරණම ගැන මෙක්සිකෝව පුරා මේ වන විට දැඩි කෝපයක් සහ ශෝකයක් නිර්මාණය වී තිබෙනවා.