සාමාන්‍යයෙන් කොණ්ඩ කැවුම් කියන්නේ හදන්න අමාරු කැවිලි වර්ගයක් කියලා තමයි හුඟාක් අය හිතන්නේ...
ඒත් හරි රෙසිපි එකකට ඉවසීමෙන් හදනවා නම් කොණ්ඩ කැවුම් හදන එක හිතන තරම් අමාරු දෙයක් නෙමෙයි... ඔන්න අද කියලා දෙන්න හදන්නේ ලඟ එන අලුත් අවුරුද්දට , අවුරුදු කෑම මේසය සරසන්න ලස්සනට රසවත්ව කොණ්ඩ කැවුම් හදන හැටි... ඉතිං අපි මුලින්ම බලමු මොනවද අවශ්‍ය දේවල් කියලා...
අවශ්‍ය ද්‍රව්‍ය:
හාල් පිටි 400 g
පාන් පිටි 200 g
සීනි 300 g (පිටි දෙවර්ගයේම එකතුවෙන් හරි අඩක් සීනි ගත යුතුයි නැතිනම් පැණි බෝතල් 1/2)
කුඩු කර ගත් කරදමුංගු හා මාදුරු කුඩු මේස හැදි 1
ලුණු ස්වල්පයක්
සාදන ආකාරය:
හාල් පිටි සහ පාන් පිටි භාජනයකට දමා ලුනු ස්වල්පයක එකතු කර පසෙකින් තබන්න.
භාජනයක් ලිප තබා එය රත් වෙද්දී එයට සීනි මේස හැඳි දෙකක් දමා ගන්න.
එය රත්වී දුඹුරු පැහැයට හැරෙන විට වතුර හැදි පහක් පමණ දමා හැඳි ගා ගන්න.
පැණි භාවිතා කරනවා නම් මෙහෙම සීනි පැණියක් හදා ගන්නට අවශ්‍ය නෑ.
පිටි වලට සීනි එක්කර වතුර ටික ටික දමමින් හොඳින් අනා ගන්න .
පැණි භාවිතා කරනවා නම් පැණි එක් කරන්න.
දිය ගතිය නැති හොඳ තද මිශ්‍රණයක් අවශ්‍යයි. ඒ මත මුලින් සෑදූ සීනි සිරප් දමා ගන්න..
හොඳින් අනා ගන්න. මේ මිශ්‍රණය පැය හතරක් පමණ වසා තබා ගන්න.
පැය හතරකට පසු මිශ්‍රණය හොඳින් හැඳි ගාන්න. කරදමුංගු, මාදුරු කුඩු ආදිය එක්කරමින් වතුර ටික ටික එක්කරමින් හැඳි ගාන්න.
දියාරු නොවන තද නොවන මිශ්‍රණයක් ලෙස සකසා ගන්න.
කොණ්ඩ කැවුම් හදන්න කූරක් අවශ්‍යයි..
රබර් හෝ කුරුඳු කෝටු කැබැල්ලක් හීනියට දිගට කපා ගන්න. සිහින් කරගත් පොල් කටු හැඳි මිටක් වුණත් සුදුසුයි.
පැන්සලක් උල් කරනවා වගේ හීනියට රැහැ ගන්න අමතක කරන්න එපා. හීනියට රහින ලද කොන තෙල් තාච්චිය රත් වෙන විට තාච්චියට දමා ටික වෙලාවක් තබා ලිපට අල්ලා පුලුස්සා ගන්න. නැවත තෙල් තාච්චියට දමන්න.
දැන් කූර පදම් වෙලා.
තෙල් තාච්චිය හොදින් රත් වී ඇත්නම් කූරේ තුඩ කැවුම් පිටි එකට දමා නැවත තෙල් තාච්චියට දාන්න .
එවිට කැවුම් පිටි මිශ්‍රණය බුබුළු දමමින් බැදෙනවා නම් තෙල් නියම ප්‍රමාණයෙන් රත් වෙලා.
කැවුම් බදින්න හැඳි දෙකක් භාවිතා කරන්න.
එක හැන්දකින් අනිත් හැන්දට කැවුම් පිටි ගන්න.
පිටි රවුමක් මිශ්‍රණයෙන් තාච්චියට දමා ගන්න.
තෙල් හැන්දකින් තෙල් ගහන්න.
එක අතකින් පිටි දමමින් පිටි රවුමට නොනවත්වා ම තෙල් ටික ගසා ගන්න. දැන් පිටි මිශ්‍රණය පිම්බෙන්නට පටන් ගනීවි.
එහි හරි මැදට කූර තබා කුඩා රවු සිදුරක් සාදා ගෙන හෙමින් හෙමින් කූර සොලවන්න.ඒ අතර නොනවත්වා ම සිදුර වැසෙන පරිදි තෙල් ගසා ගන්න.
කැවුම ඇතුළට කූර එබීම, අනවශ්‍ය විදියට කූර කැරකවීම කරන්න එපා.
කැවුමේ කොණ්ඩය කැඩී යාවී. කොණ්ඩය සකස් වූ පසු කැවුම හරවමින් හොඳින් බදින්න.
කැවුම් බැදිය යුත්තේ අඩු ගින්දරේ බව අමතක කරන්න එපා.
ඉතිං හදලා පුරුදු වෙන්න... අවුරුදු කාලෙට සල්ලි දීලා ආපහු කොන්ඩ කවුම් ගන්න ඕනී නැහැනේ....