ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ මුදලට තරග පාවා දීමේ චෝදනා එල්ල වන්නේ 1992 වසරේ සිටයි. මේ චෝදනා එල්ල වූ ක්‍රීඩකයන් අතර අර්ජුන හා අරවින්ද ඉන් පසුව තිලකරත්න ඩිල්ෂාන් හා ඔහුගේ බිරිඳ ද වනවා. නමුත් ඒවා ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීමෙන් ඒවා යටපත්වුණා.
මුදලට තරග පාවා දීම් ගැන ඇහුණු අලුත්ම කතාවේ නම සඳහන් වන්නේ කුසල් ජනිත් පෙරේරා සහ රංගන හේරත්. ඒ පසුගියදා ශ්‍රී ලංකාවේ පැවති තරගාවලියක් අතරතුර ඔවුන් දෙදෙනාට මුදලට තරග පාවාදීම සඳහා පුද්ගලයෙකු කළ යෝජනාවක් සම්බන්ධයෙන් හෙළි කිරීමත් සමගයි.
මේ අතර කුසල් ජනිත් පෙරේරා තහනම් උත්තේජක ඖෂධ ලබාගෙන ඇති බව මුත්‍රා සාම්පල පරීක්ෂාවේදී ඔප්පු වීමත් සමඟ එය මෙම තරග පාවා දීමට කළ යෝජනාව හා සම්බන්ධයක් තිබෙනවාද යන්න සොයා බැලීමට ක්‍රීඩා අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන්නා.
පසුව තරඟ පුහුණුව සඳහා පුහුණුකරුවෙකු විසින් ගෙන ආ පුහුණු වේග පන්දු යවන්නෙකු විසින් මෙම යෝජනාව කුසල්ට හා රංගනට ඉදිරිපත් කර තිබෙන බවටත් හෙළිව තිබෙනවා. මේ වේග පන්දු පුහුණුකරු අනූෂ සමරනායක බවටත් ඇතැම් වෙබ් අඩවිවල වාර්තා පළව තිබුණා.
කෙසේ වෙතත් මෙම වේග පන්දු පුහුණුකරු විසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පුහුණුව සඳහා පන්දු යැවීමට රැගෙන ආ පුද්ගලයා හෝමාගම ප්‍රදේශයේ පදිංචි ගයාන් විශ්වජිත් නැමැති පුද්ගලයෙක්.
කිසිදු ක්‍රීඩා සමාජයක එවැනි ක්‍රීඩකයෙක් සිටි බවට කිසිදු වාර්තාවක් නැති බවත් හෙලිව තිබෙනවා. ඒ නිසාම එවැනි පුද්ගලයෙකු ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පුහුණු කිරීමට යොදා ගැනීමත් සැකයට තුඩු දෙන කාරණවක් වී තිබෙනවා.
මේ ගයාන් විශ්වජිත් නැමැත්තා රැකියාව වශයෙන් ආයතනවලට නිරූපිකාවන් නිළියන් සපයන පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.
අධි සුඛෝපභෝගී මෝටර් රථයක් පදින හා ධනපතියෙකු ලෙස හැසිරෙන ගයාන් විශ්වජිත් නමැත්තා ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරුවෙකු හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වන නායක ඇන්ජෙලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, කුසල් ජනිත් පෙරේරාට බොහෝ සමීප මිතුදමක් පවත්වාගෙන ගොස් තිබෙනවා.
ගයාන් විශ්වජිත් නමැත්තා මුදලට තරඟ පාවාදීම සඳහා කුසල් ජනිත්ට හා රංගන හේරත්ට කතා කළ බවට කුසල් හා රංගන අයි.සී.සී යට හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා තිබූ අතර මේ වන විට ඒ ගැන පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙනවා.
කෙසේ වෙතත් කුසල් ජනිත් විසින් ගයාන් විශ්වජිත්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවද ගයාන් කිහිප විටක් කුසල්ගේ නිවසට ගොස් ඔහු හමුවී තිබූ අතර තම යෝජනාව ප්‍රතික්ෂේප කළ නිසා කිරීම නිසා ඔහු කුසල්ට යම් තහනම් උත්තේජක අඩංගු පානයක් ලබා දී ඇති බවට ද සැක පහළ වී තිබෙනවා.