තාත්තලා අපේ ජීවිතයේ විවිධාකාර චරිත නිරූපනය කරනවා.
සමහර වෙලාවට අපිට ආදරය නොපෙන්වා අපිට හදපුරාවට ආදරය කරනවා.
සමහර වෙලාවට අපේ යාලුවෙක් වගේ ඉඳලා අපේ ජීවිතයේ හැමදේම බෙදාගන්නවා.
මේ කතාව අන්න ඒ වගේ යාලුවෙක් වගේ පුතෙක්ට ආදරය කරපු තාත්තා කෙනෙකුගේ ආදරණීයම සටහනක්.
හදිසි අනතුරකින් පස්සේ දැන් සුව වෙමින් ඉන්න ආදරණීය පුතාගේ උපන් දිනය වෙනුවෙන් ඔහු තැබූ සටහනක්.
මේ තාත්තා කෙනෙක් හදපුරා ආදරය පුරෝගෙන කියන කතාවක්.
ඔව් මේක ආදරණීය කතාවක්.
නපුරු හීනයක් දැක්කා පුතේ....
-------------------------------------
පසුගිය 22 වෙනිදා දහවල් 12.45 ට විතර මට දුරකතන පණිවුඩයක් ආවෙ හෝමාගම රෝහලෙන්.
ඔයා ඇක්සිඩන්ට් වෙලා කියලා.
ඒ වෙලාවෙ මම හිටියෙ මල්ලිව ඉස්කෝලෙ ඇරිලා එනකන් එයාගෙ ඉස්කෝලෙ ලඟ.
මම එක පාරටම ගල් ගැහුනා.
ඩොක්ටර් කෙනෙක් කතා කලේ.
එයා කිව්වා කලබල නොවී පුළුවන් ඉක්මනින් රෝහලට එන්න කියලා.
මම ඩොක්ටර්ගෙන් ඇහුවා ඔයාගෙ තත්වෙ.ඩොක්ටර් කිව්වෙ bad situation කියලා.
මාව වෙව්ලන්න ගත්තා.
තාත්තා කෙනෙක් විදියට මම එහෙමනම් මේ පණිවුඩය මම ඔයාගෙ අම්මට කියන්නෙ කොහොමද ?අම්මයි,මමයි,මල්ලියි කොළඹ ඉඳලා ඉස්කෝල ඇරෙන කලබල වෙලාවෙ හෝමාගම රෝහලට එන්න කාර් එක ඩ්‍රයිව් කරන්න මට බෑ.
මගේ අත් දෙක වෙව්ලනවා.
හෝමාගම රෝහලට එද්දි ඔයාගෙ යාළුවො බලාගත්ත අත බලාගෙන ඉන්නවා.
ඒ එක්කම ඔයා හදිසි සැත් කමකට ගන්න වෛද්‍ය වරු පිරිවරාගෙන ට්‍රොලියක ඔයා එක්කරන් එනවා.ඒ අතර හිටි එක් ඩොක්ටර් කෙනෙක් මාව පැත්තකට එක්කන් ගිහින්
"මෙයාට අමාරුයි නැතිවෙන්නත් පුළුවන් අපි උත්සාහ කරමු " කියලා මගෙන් කොලේකට අත්සනක් ගත්තා " ඔයාගෙ අම්මා එතන හිටපු ප්‍රධාන ඩොක්ටර් විශේෂඥ ශල්‍ය වෛද ධම්මික වික්‍රමසේකර ගෙ කකුල් දෙක අල්ල්ලලා වැඳලා කිව්වා " මගේ පුතා මාව දාලා යන්නෙ නෑ.
එයා මගේ කිරිබීලා හැදුනෙ,එයාට මාව දාලා යන්න බෑ.
අනේ දෙයි හාමුදුරුවනේ මගේ පුතා බේරල දෙන්න.
මගේ දෙයියො ඔබ තුමා.
ඔබතුමාට මගේ පුතා බේරලා දෙන්න විශ්ව ශක්තිය ලැබෙන්න ඕන"
කියලා.ඔයාගෙ දිහා මට බලන්න බෑ.
ඒත් සෙනග අතරින් ඔයා යාන්තමට ඇස් ඇරලා මගේ දිහා බලද්දි මගේ පපුව පිච්චුනා.
ශෛලාගාරයේ දොර වැහුනා.
මම හිටපු තැනම බිම ඉඳගෙන අඬන්න ගත්තා.
ඔයාගෙ යාළුවො මාවයි අම්මවයි වත්තම් කරගත්තා.
දරාගන්නම බැරි සුදු යුනිෆෝම් එකෙන් හිටපු ඔයාගෙ මල්ලි පැත්තකට වෙලා හොරෙන් අඬපු විදියට.
ඒ වෙනකොටත් ඔයාගෙ යාළුවො දහ පාලොස් දෙනෙක් එතන.
ගෙදර ඉඳලා ඔයා ක්ලාස් යන්න යද්දි ගමේම මෝටර් සයිකලයක් ඔයාව දාගෙන බස් හෝල්ට් එකට එද්දි ත්‍රීවිල් එකක හැප්පිලා කියල දැනගත්තෙ ඒ වෙලාවෙ.
සැත්කම ඉවරවෙන්න පැය තුනකට වඩා ගියා.
ඔයාගෙ වකුගඩු,අක්මාව ,පෙනහළු වලට දරුණු හානි වෙලා තිබුනා.
ඊට අමතරව ඔයාගෙ ඉල ඇට හයක් කැඩිලා තිබුනා.
සැත්කමින් පස්සෙ ඔයා දැඩිසත්කාර ඒකකයට ඇතුල් කළා.
ඔයා දින 9 ක් දැඩි සත්කාර ඒකකයේ මරණයත්,ජීවිතයත් අතරෙ සටනක.
ඒ දින නවය පුදුමාකාරයි.
ඔයාගෙ අම්ම ගෙදර මහා හයියෙන් අඬනවා.
මට වඩා ඔයාගෙ අම්මා හයිය ගෑණියෙක්.
හෝමාගම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ සියළු දෙනා දෙවි දේවතාවුන් වගේ ඔයා බලා ගත්තා.
ඒ අතරින් විශේෂ කෙනෙක් හිටියා.
ඒ විශේෂඥ ශල්‍ය වෛද ධම්මික වික්‍රමසේකර.
එයා විශ්‍රාම ගිය වෛද්‍ය වරයෙක්.
විශ්‍රාම ගිහිල්ලත් ස්වේච්ඡාවෙන් හෝමාගම රෝහලේ ඔහු රාජකාරි කළා.
ඔවුන් අපිට කිව්වා තමන් අදහන ආගමක් දහමක් තියෙනවනම් ඔයා සුව කරලා දෙන්න කියලා ආශිර්වාද කරන්න කියලා.
එතන ඉඳලා බෙල්ලන්විල ,කැළණිය,අනුරාධපුර ජයශ්‍රී මහ බෝධිය,රුවල්වැලිසෑය,දළදා මාළිගාව,කතරගම මේ සෑම තැනම ඔයා වෙනුවෙන් තාත්තගෙ යාළු මිත්‍රාදීන් දෙවියන්ගෙන් බුදුන්ගෙන් ඔයා ඉල්ලලා ප්‍රාර්ථනා කළා.
සෙත් කවි කිව්වා,මරණයට නියම වූ සතුන් නිදහස් කළා.
පසු ගිය පෝය දවසෙ හෝමාගම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ මූලිකත්වයෙන් රෝහලේ සිටින සෑම රෝගියෙකුටම වාට්ටුවෙන් වාට්ටුවට ගිහින් තෙල්, මල් , පහන් අත ගස්වලා ඔයා ඇතුළු සියළු රෝගීන් සුව වෙන්න කියලා බෝධි පූජාවක් කළා.
ආරන්‍ය වාසී ස්වාමීන් වහන්සේලා වැඩම කරවලා දැඩිසත්කාර ඒකකයේ සිටින සියළු රෝගීන් වෙනුවෙන් පිරිත් කිව්වා.
ඔයාගෙ දකුණු අත වැහෙන තරමට පිරිත් නූල් බැඳුනා.ඔයාගේ නෑ හිතමිතුරන් වෙන වෙනම බෝධි පූජා කළා.
ඒ සියළු දේ අතරෙ වෛද්‍ය වරු ඇතුළු හෙද හෙදියන් කළ යුතු සෑම දේම කළා.
හෝමගම රෝහලේ රෝහල් අධ්‍යක්ෂ ඩොක්ටර් ජයරුවන් බණ්ඩාර හැම දෙයක් ගැනම සොයලා බැළුවා.
අවසානයේ හත්වෙනි දවසෙදි ඔයාට සිහිකල්පනාව ආවා.
අම්මා සාධුකාර දුන්නා.
දින පහලොවකට පස්සෙ ඔයා සාමාන්‍ය තත්වයට පත්වෙමින් තිබුනා.
දින 15 කට පස්සෙ අපිට ඔයාව ගෙදර එක්කන් එන්න පුළුවන් උනා.
කුමාරයෙක් අපිට නැවත ඉපදුනා.
අද ඔයාගෙ 19 වෙනි උපන්දිනේ.
මම මේ ටික ලිව්වෙ මේ සසර ගමන එකිනෙක බද්දයි කියලා ඔයාට පහදලා දෙන්න.
හොඳ නරක කියන්නෙත් කුසල් අකුසල් වලටම බව පහදලා දෙන්න.
ඔයා දැන් වැඩිහිටියෙක් , මේ සිදුවීමෙන් ඔයා මහා ජීවිත අවබෝධයක් ගන්න ඇති කියලා මට හිතෙනවා.
ඒ නිසාම ඔයාට මේ මහපොළවේ ජීවත්වෙන මිනිස්සුන්ට,සතා සිව්පාවට,ස්වභාදහමට විශාල වැඩ කොටසක් කරන්න වගකීමක් තියෙනවා.
මොකද ඔයාව බේරලා දුන්නෙ ඔවුන්.
විශේෂයෙන් රටක පුරවැසියෙක් විදියට ඔයාට කරන්න යුතුකම් ගොඩක් තියෙනවා.
අද ඔයාගෙ 19 වෙනි උපන්දිනේ දවසෙ ඔයා හිනාවෙලා ඉන්නවා දැක්කම මේ හැමදෙයක්ම හීනයක් කියලා මට හිතෙනවා.සුභ උපන්දිනයක් වේවා ජනු..!
මම ඔයාගෙ තාත්තා.
- සංජක ප්‍රසාද් දොලේවත්ත -
2023.12.14