ඔස්ට්‍රෙලියානු කණ්ඩායම වෙනුවෙන් මානස් ලබුෂේන් ලකුණු 104 ක් සහ ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 145 ක් රැස්කළා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කෝඩුකාර ක්‍රීඩකයා වන ප්‍රබාත් ජයසූරිය ලකුණු 118 කට ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ කඩුලූු 6ක් දවා ගත් අතර කසුන් රාජිත ලකුණු 70 ක ට කඩුලු දෙකක් බිඳ දැමුවා.
පිළිතුරු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ සිව් වැනි දිනයේ දී ඉනිම නිමා කළේ සියලු දෙනා දැවී ලකුණු 554 ක් රැස්කර ගත්තේ පන්ඳු ඕවර 181 ක් තුළදී.
ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළ දිනේෂ් චන්දිමාල් ඔහුගේ ක්‍රිකට් දිවියේ පළමු ටෙස්ට් ද්විත්ව ශතකය වාර්තා කර ගන්නත් මේ තරගයේදී සමත්වුණා.
චන්දිමාල් ලකුණු දෙසිය හයක් රැස්කර ගත්තේ හතරේ පහර දාසයක් සහ හයේ පහර පහක් එල්ල කරමින්.
මීට අමතරව නායක දිමුත් කරුණාරත්න ලකුණු 86ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 85ක් රැස්කර ගනිමින් ඔවුන්ගේ පිත්තේ සවිය ශ්‍රී ලංකා ඉනිමට එකතු කළා.
එමෙන්ම කමිඳු මෙන්ඩිස් ලකුණු 61 ක් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 52 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම් ලකුණු සංඛ්‍යාව ඉහළ දමන්නට දායක වුණා.
ඔස්ට්‍රෙලියානු කණ්ඩායම වෙනුවෙන් මිෂෙල් ස්ටාර්ක් ලකුණු 89 ට කඩුලු 4ක් දවා ගත් අතර මිෂෙල් ස්වැප්සන් ලකුණු 103 කට කඩුලු 3ක් බිඳ හැලුවා.
නේදන් ලයන් කඩුලු දෙකක් බිඳ හෙළුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 194ක් ලබා දෙමින්.
මේ අනුව ලකුණු 190 ක් පසු පසින් සිටිමින් ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිය දෙවැනි ඉනිම ඇරඹු ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ ගමන කිසිසේත් ලෙහෙසි පහසු එකක් වූයේ නැහැ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන්නන්ගේ ආධිපත්‍යය හමුවේ ඔවුන්ගේ කඩුළු එක පිට එක බිඳ වැටෙන්නට වුණා.
ආරම්භක සම්බන්ධතාවය ලකුණු 49 ක්ව තිබියදී ඩේවිඩ් වෝනර් ලකුණු 24 ට දැවී ගියා.
ඉන් අනතුරුව ඉස්මාන් කවාජා ලකුණු 29 ක් ලබා සිටියදී දැවී ගිය අතර පළමු ඉනිමේ ශතකයක් රැස් කරගත් මානස් ලබුෂේන් දැවී ගියේ ලකුණු 32 ක් ලබා සිටියදීයි.
මේ අනුව ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව 151 ක්ව තිබිය දී ඔවුන්ගේ අවසන් පිතිකරුවාත් ක්‍රීඩාගාරයට පියමැන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 36 ක ජයග්‍රහණයක් අත්කර දෙමින්.
පන්දු යැවීමේදී නැවතත් දස්කම් දැක්වූ ප්‍රභාත් ජයසූරිය ලකුණු 59 ක ට කඩුලු 6 ක් දවාගත් අතර මහීෂ් තීක්ෂන සහ රමේෂ් මෙන්ඩිස් අතර කඩුලු 2 බැගින් බෙදී ගියා.
මේ අනුව සමස්ථ තරගයේ දී සිය කුළුඳුල් ටෙස්ට් වරම් හිමි කර ගත් ප්‍රභාත් ජයසූරිය ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ කඩුලු 12 ක් දවා ගත්තේ ඔස්ට්‍රෙලියානු කණ්ඩායම ට ලකුණු 187 ක් පමණක් ලබාදෙමින්.
ඔහුගේ මේ දක්ෂතාව දෙවැනි ටෙස්ට් තරගයේ තරගයේ වීරයා සම්මානය හිමිකර දෙන්නට ප්‍රමාණවත් වූ අතර සිය මංගල ද්විත්ව ශතකය ලබාගත් දිනේෂ් චන්දිමාල් තරගාවලියේ වීරයා ලෙස නම් කෙරුණා.