2012 වසරේ මැයි මස 17 වැනිදා නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනය අසල රිය අනතුරක් බවට අඟවමින් ඝාතනය කර තිබූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනයේ CCTV දර්ශන ලැබී ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කර තිබෙනවා.
එම දර්ශන මේ වන විට රහස් පොලීසිය භාරයේ පවතින බවත් ඉදිරියේදී ඒවා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා. එම CCTV දර්ශනවල ප්‍රභූ පුද්ගලයන් ද සිටින බව තමන්ට තොරතුරු වාර්තා වී ඇති බවයි අමාත්‍ය රාජිත සේනාරත්න වැඩි දුරටත් කියා සිටියේ.
වසීම් තාජුඩීන්ගේ මරණය හදිසි අනතුරකින් සිදුවූවක් බවට මීට පෙර කරුණු වාර්තා වුණත් පසුගිය බ්‍රහස්පතින්දා අධිකරණයේදී අනාවරණ වුණේ එය හදිසි අනතුරකින් සිදුවූ මරණයක් නොව මිනී මැරුමක් බවයි.
මේ පිළිබදව පරීක්ෂණ පැවැත්වූ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය මේ බව තහවුරු කරගෙන ඇති අතර එහි අවසන් පරීක්ෂණ වාර්තාව එදින අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
පසුගිය දා අධිකරණයට ඉදිරිපත් වූ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය සිදුකළ පරීක්ෂණයේ අවසන් වාර්තාවට අනුව හෙලිවී ඇත්තේ තාජුඩීන්ට පහර දී දුර්වල කොට මගී අසුනේ තබා අනතුර සිදුවීමට ඉඩ සලස්වා ඇති බවයි.
එමෙන්ම පසුගියදා පුවත්පත් වාර්තාවල දැක්වුණේ ඝාතනයට සම්බන්ධ සියළු පුද්ගලයින් මේ වන විට හඳුනාගෙන ඇති බවත් අධිකරණය නියෝග ලැබීමෙන් පසුව ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට පොලිසිය කඩිනමින් ක්‍රියා කිරන බවයි.