ලංකා ඉතිහාසයේ විශාලම අල්ලස වූ රුපියල් මිලියන 125ක අල්ලස් මුදලක් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටි රේගු නිලධාරීන් 3 දෙනා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අද නියෝග කළා.
ඒ අනුව එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මතයි මෙලෙස මුදා හැර ඇත්තේ.
ඊට අමතරව මොවුන්ට විදෙස් ගමන් තහනම් කළ විනිසුරුවරයා සෑම මසකට වරක් අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට ද නියෝග කර තිබෙනවා.
රේගු අධිකාරීවරයෙකු ඇතුළු රේගු නිලධාරීන් 03 දෙනෙකු මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවේ ලංකා ගමනාගමන මණ්‌ඩලයට වාහන අමතර කොටස් සපයනු ලබන මෙම ව්‍යාපාරිකයා විසින් රජයට ගෙවිය යුතු රුපියල් කෝටි 150 බදු මුදල නිදහස් කිරීම සඳහා මෙම අල්ලස් මුදල ලබාගැනීමට යාමේදීයි.
මෙම රේගු නිලධාරීන් අදාළ ව්‍යාපාරිකයාගෙන් පළමුව රුපියල් කෝටි 15 ක අල්ලස් මුදලක් ඉල්ලා ඇතැයි ඔහු විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කර තිබූ අතර මොවුන් අත්අඩංගුවට ගැනීමේ උපායක් ලෙස රුපියල් කෝටි 12 1/2 මුදලක් අල්ලස් ලෙස ලබාදීම සඳහා කැමැති කරවාගෙන අල්ලස් හෝ දූෂණ කොමිසමේ නිලධාරීන්ගේ උපදෙස් මත කොළඹ පංචිකාවත්තට ගෙන්වා අදාළ මුදල ලබාගනිද්දීම අත්අඩංගුවට ගෙන තිබුණා.