තම සැමියා විසින්ම අවුරුද්දකුත් මාසයක් වයසැති පිරිමි දරුවා තුන්වරක් පොළොවේ ගසා ඝාතනය කළ බව දරුවාගේ මවක් ඊයේ (07) අම්පාර මහාධිකරණය හමුවේ අනාවරණ කළා. ඒ සිද්ධියට අදාළ නඩුව මහාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීයි.
පසුගිය වසරේ මාර්තු 26 වනදා මෙම සිද්ධිය සිදුව තිබෙනවා. එදින තමා සමග පොලට ගිය සැමියා, දරුවා සමග ආසන්න ස්ථානයක රැදී සිටින ලෙස දැන්වූ බවත් ටික වේලාවකින් ඔහු පොළෙන් බඩු රැගෙන පැමිණි බවත් මෙම මව කියා සිටියා.
අනතුරුව දරුවා වඩා ගත් සැමියා දරුවා හඬන්නට පටන් ගත් නිසා හයියෙන් සොලවා එකවරම උඩුබැලි අතට බිම දැමූ බවයි මෙම මව ප්‍රකාශ කළේ. යලි දෙවරක් එසේ කළ සැමියා දරුවා බේරා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ තමන්ට ද හිසට සහ පිටට තදින් පහරදුන් බවත් එක් අවස්ථාවකදී බිම වැටී සිටි දරුවා ඔසවා අතක් කරකවා යළි බිම දැමූ බවත් ඇය සඳහන් කළා.
‘‘තුන්වැනි වතාවට දරුවා උස්සලා බිමට දාද්දි දරුවාගේ ඇස් දෙක උඩ ගිහින් හුස්ම හිරවුණ දරුවා මම වඩා ගන්න උත්සාහ කළ සෑම අවස්ථාවකදීම සැමියා මගේ හිසට සහ පිටට තදින් පහර දුන්නා. එසේ පහර දෙද්දිම මම දරුවා වඩාගෙන අසල නිවෙසකට දුවගෙන ගියා. පසුව සැමියා මට තර්ජනය කරලා කිව්වා සැමියා සමඟ පොළට ගිය බවක් කිසිවකුට කියන්න එපා කියලා. දරුවා බිම වැටිලා මැරුණා කියලා කියන්න කියලත් සැමියා මට තර්ජනය කළා. පොළොවේ ගැසූ නිසා ඇස් උඩ ගිහින් හුස්ම හිරවී සිටි දරුවා රෝහලට ගෙන යන්නවත් සැමියා ආවේ නැහැ. උදවු කළේ නැහැ.‘‘
මිලානි ප්‍රීතිකා නමැති අම්පාර මහඔය - කැකිරිහේනේ පදිංචි මෙම මව සාක්ෂි ලබාදුන්නේ විනිසුරුවරයාගේ අවසරය මත බෝනික්කෙකු අතට ගෙන සැමියා තම දරුවා පොළොවේ ගැසූ ආකාරය පෙන්නුම් කරමින්. දරුවා පොළොවේ ගැසූ බව කිසිවෙකුටත් නොකියන ලෙසට සැමියා තර්ජනය කළ බවත් පසුව තමන් දරුවා රෝහලට රැගෙන ගිය බවත් ඇය මෙහිදී සඳහන් කළා.
සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන නොවැම්බර් 5 වනදා දක්වා කල් තැබීමටයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ.