කොවිඩ් 19 තවත් විකෘති ප්‍රභේදයක් කොළොම්බියාවෙන් වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසනවා.
මෙම නව වෛරස ප්‍රභේදයේ ආසාදිතයින් අමෙරිකාවේ ෆ්ලොරීඩාවෙන්ද හදුනාගෙන තිබෙනවා.
කොවිඩ් 19 වෛරස ආසාදනයෙන් ගෝලීයව වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 20 කෝටි 29 ලක්ෂය ඉක්මවා ගොස් ඇති අතර සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වුණේ 42 ලක්ෂ 99,735ක් ලෙසයි.
මේ අතර කොළොම්බියාවෙන් කොවිඩ් වෛරසයේ නව විකෘති ප්‍රභේදයක් වාර්තා වී තිබෙනවා.
කොළොම්බියානු ප්‍රභේදය හෙවත් බී වන් 621 ලෙස හඳුන්වන මෙම නව ප්‍රභේදය බීටා සහ ඩෙල්ටා ප්‍රභේදයන්ට සමාන කම් දක්වන බවයි පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.
ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරන මෙම නව ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 8 දෙනෙක් මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති අතර එලෙස ජීවිතක්ෂයට පත් වූ රෝගීන් 8 දෙනාම එන්නත් ද්විත්වයම ලබාගත් අය බවත් හෙළි වී තිබෙනවා.
එම වෛරස ප්‍රභේදයේආසාදිතයින් 5 දෙනෙක් අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන්ද අලුතින් හඳුනාගෙන තිබෙනවා.
මේ අතර ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර මෙල්බන් සහ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයන් තුළ වාර්තාවන දෛනික ආසාදිතයින් ප්‍රමාණය තෙවන දිනටත් වාර්තාගත ලෙස ඉහළ ගියා .
ගෙවුණු දිනයේදී පමණක් සිඩ්නි නුවරින් නව ආසාදිතයින් 400 ඉක්මවා වාර්තා වී තිබෙනවා.
මෙලෙස ඩෙල්ටා ආසාදිතයින් ශීඝ්‍ර ලෙස වාර්තා වන්නේ සිඩ්නි සහ මෙල්බන් නගරවලට සති 7ක කාලයක් පුරා සංචරණ සීමා බලාත්මක කර ඇති පසුබිමකයි.
ආසියානු කලාපයේ වැඩිම දෛනික ආසාදිතයින් ප්‍රමාණයක් තවමත් වාර්තාවන්නේ අසල්වැසි ඉන්දියාවෙන්.
මේ වන විට කේරළ ප්‍රාන්තයේ ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරන ඩෙල්ටා ප්‍රභේදය පාලනය සඳහා දැවැන්ත එන්නත්කරණ වැඩසටහනක් දියත් කිරීමට ප්‍රාන්ත සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා.
එරට නිෂ්පාදිත දෙවන එන්නත වන නොවැක් එන්නත හදිසි භාවිතය සඳහා එරට සෞඛ්‍ය අංශයේ අනුමැතිය හිමිව ඇත්තේ මේ අතරතුරයි.
90%ක ඵලදායීතාවයක් පෙන්නුම් කරන මෙම එන්නත පවතින ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව සාර්ථකව භාවිතයට ගත හැකි බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත්තේ.
ආසියානු කලාපයේ වැඩිම දෛනික මරණ සංඛ්‍යාවක් වාර්තාවන්නේ ඉන්දුනීසියාවෙන්.
ඒ ගෙවුණු දිනයේදී නව මරණ 1588ක් අලුතින් හඳුනාගැනීමත් සමඟයි.