මෝටර් රථය ගිනිගෙන අභිරහස් ලෙස මියගොස් සිටි රගර් ක්‍රීඩක තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකෙරෙන පුද්ගලයන් 4 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන ඇතැ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.
ඔවුන් අතර තිදෙනකු ජනාධිපති ආරක්ෂක අංශ සාමාජිකයන් වන බවත් එක් අයෙකු මේ වනවිට එංගලන්තයේ පදිංචිව වී සිටින ශ්‍රී ලාංකිකයකු බවටත් අනාවරණය කරගෙන ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ තාජුඩින්ගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් ඉතාලියට පැන ගිය බවට සිදුකර තිබෙන ප්‍රකාශයේ සත්‍යතාවක් නැතිබවයි.
මේ සිද්ධියට සැකකෙරෙන ජනාධිපති ආරක්ෂක අංශයේ සාමාජිකයන් තිදෙනා මේ වනවිට ශ්‍රී ලංකාවේ සිටින බව පවසන එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් පිළිබඳව විමසිල්ලෙන් පසුවන බවද එම තිදෙනා ඉදිරි සති දෙක තුළ අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බවද විශ්වාසය පළ කරන බවට පවසා තිබෙනවා.
මේ වනවිට බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටින පුද්ගලයාට ශ්‍රී ලංකාවෙන් පැනයාම සඳහා හිටපු තානාපති නිලධාරියෙකු සහාය ලබාදී තිබෙන අතර එම තානාපති නිලධාරියාගේ ද වැරැදි කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කෙරේ.
තාජුඩීන්ගේ මෘත ශරීරය හමු වූ ස්ථානයේ කිසිදු රිය අනතුරක් සිදු නොවූ බවට මේ දක්වා සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය කරගෙන ඇති අතර එම රථයේ ඉදිරිපස ගිනිබත් වුවද ඉන්ධන ටැංකියේ භාගයකටත් වඩා ඉන්ධන පිරී පැවැති බවට අනාවරණය කරගෙන ඇත. තාජුඩීන්ගේ මෘත ශරීරය රියදුරු අසුනේ නොව ඉදිරිපස අනෙක් අසුනේ තිබී ඇති අතර එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී අනතුරක් සිදුවූ බවට සාක්ෂි නොවූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය කරුණු විකෘති කොට වාර්තාවක් ඉදිරිපත් කළාද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගොඩගනු ලැබූ තාජුඩීන්ගේ මෘත ශරීරය වැඩිදුර පරීක්ෂා කිරීමට ලක් කෙරෙන අතර ඔහුගේ ශරීරයේ අස්ථිවලට සිදුවී ඇති හානි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උසාවියට ඉදිරිපත් කළ කරුණුවලට සමාන ද යන්න සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරේ. මේ මරණයට පෙර ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරීන් ඔවුන්ගේ ආපන ශාලාවේදි රැස්වී සාකච්ඡා කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ දක්වා සිදුකළ විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබෙන අතර තාජුඩීන්ගේ මරණය සම්බන්ධ අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාව එළඹෙන 10 දා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.