ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවිය ඇතුළු රජයේ වෙබ් අඩවි කිහියකට සයිබර් ප්‍රහාරයක් එල්ලවූ බවට පැවසු ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජිව් යසිරු කුරුවිටගේ මැතිව් හට තම දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝග කර තිබෙනවා.
ඒ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා.
අද පෙරවරුවේ මෙම සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ජනාධිපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය ඇතුළු තවත් රාජ්‍ය වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බවයි.
විදේශ අමාත්‍යංශය, වෛද්‍ය පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකාවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව, පවුල් සෞඛ්‍ය කාර්යාංශය, වයඹ පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකක යන වෙබ් අඩවිවලටත් මෙම දැවැන්ත සයිබර් ප්‍රහාරය එල්ලවී ඇති බව ද ඔවුන් අවධාරණය කළා.
තම සංගමය මීට පෙර මෙවැනි සයිබර් ප්‍රහාරයක් එල්ලවිය හැකි බව මීට පෙර අනතුරු ඇඟවීමක් සිදු කළ බව ද ඔවුන් කියා සිටියා.
මේ අතර රජයේ වෙබ් අඩවි වෙත කිසිදු සයිබර් ප්‍රහාරයක් එල්ලවී නොමැති බවයි ශ්‍රී ලංකා පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය ප්‍රකාශ කළේ.
මෙම ව්‍යාජ තොරතුර බෙදාහරිනු ලැබූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජිව් යසිරු කුරුවිටගේ මැතිව් ශ්‍රී ලංකා පොලිසියේ පරිඝනක අපරාධ ඒකකයට කැඳවා ප්‍රශ්න කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශ ප්‍රකාශකයෙකු සඳහන් කළා.