ජීවිතේ බොහොම හොඳයි. මම හිතන්නෙ අපි මේ විදියට හමුවෙන්නෙ මගේ විවාහයෙන් පසුවයි. එදා ඉඳලා අද දක්වා ගත්තොත්, ජීවිතේ තවත් වැඩි දියුණුවීමක්, මුහුකුරායාමක් වෙලා. විවාහයට පෙර සිය ජීවිතයට වඩා මම වැඩ බොහොමයක් කළාය කියලා හිතෙනවා. විවාහයට පෙර අධ්‍යාපනය සහ ඊට සමගාමී වැඩ අතරේ කලා අංශයට දායකවීම සිදුවුණේ අවම වශයෙන්.
ඉන්පසුව වර්තමානය වෙද්දි මම කරන සියලු වැඩ කටයුතුවල දී, දියුණුවීමක් ලබා ඇත්නම් එහි ප්‍රධාන කොටස්කරුවකු ලෙස මිලාන්ව නම් කරන්න පුළුවනි. වත්මනෙහි මම කරන ‘යූ-ටියුබ්’ නාලිකාවේ සිට ජීවිතය වටා බැඳී ඇති සියලු කටයුතු වෙනුවෙන් කාලය හොයලා දීලා, සියල්ල සමබරව කරගෙන යාමට බලකණුවක් වෙලා ඉන්නෙ මිලාන්.
• විවාහ ජීවිතේ කොහොමද? රහක් දැනෙනව ද? නැත්නම් කොහොමද දැනෙන්නෙ ?
තනිකඩ ජීවිතයට වඩා විවාහ ජීවිතේ රහක් තියෙනවා. ඒ වගේම අභියෝගාත්මක බවකුත් තියෙනවා. ස්වාමිපුරුෂයා හෝ භාර්යාව කියන්නේ අපි විසින්ම තෝරා ගන්නා වූ එකම නෑදෑයා කියලා කියනවා. ඒ සමගම එකතුවන නෑදෑ පරම්පරාව, සංස්කෘතිය එක්ක එකට ජීවත්වීම සහ පෑහීම සිදුවෙන්න ඕනෑ. ඒ සෑම දෙයක්ම හොඳින් සිදුවෙනවාය කියලා කියන්න පුළුවනි. හැබැයි මටයි මිලාන්ටයි අපි හිතපු දේම ලැබුණාය කියලා කියන්න බැහැ. නමුත් ජීවිතේට මුහුණ දෙන්නෙ කොහොමද කියලා යුවළක් හැටියට අපි ඉගෙන ගනිමින් සිටින බව කියන්න පුළුවනි. අපේ අප්පච්චි කියන විදියට කසාදය කියලා කියන්නෙ ලී දෙකක් පුරුද්දනවා කියන එකටයි. ඒක එහෙම නම්, ඊට සමගාමීව දෙන්නාම කටයුතු කළ යුතු වෙනවා. අපි දෙන්නම කැප කිරීම් ඒ වෙනුවෙන් කරලා තියෙනවා. මිලාන් මා වෙනුවෙන් බොහෝ කැප කිරීම් කරනවා. මට විතරක් නෙවෙයි, අපේ අම්මටයි අප්පච්චිටයි වගේම අපේ මුළු ගෙදරටම එයා ලොකු පුතා වෙලා. මේ නිසාමදෝ මට වඩා මිලාන්ට අපේ පවුලෙන් ලැබෙන්නෙ ගෞරවයක්. විවාහ ජීවිතය හොඳ වෙන්නත් - නරක වෙන්නත් බලපාන්නෙ තේරුම් ගැනීමයි. මිලාන් ඉතා හොඳින් අපේ පවුල, ඒ සංකල්පය තේරුම් අරන් සිටින කෙනෙක්.
• දැන් අපි මාධවිගේ මේ අලුත් වැඩේ ගැන කතා කරමු? මොකක්ද මේ?
මෙය ගීතයක්. ඇත්තටම කිව්වොත් මගේ පළමු ස්වතන්ත්‍ර නිර්මාණය කිව්වොත් වරදක් නැහැ. මොකද මීට පෙර හපන් පැදුරේ සිට මම ගීත ගයලා තිබුණත්, මේ විදියට නිර්මාණයක් ලෙස එළියට ආවෙ නැහැ. මගේ ගීතයක් ලෙස, මගේ හිමිකාරිත්වය යටතේ නිර්මාණය වූ පළමු ගීතය ලෙස ‘‘ආදරේ ඕනෑ කෙරේ’’ ගීතය නම් කරන්න පුළුවනි.
• ‘‘ආදරේ ඕනෑ කෙරේ’’ ගීතයෙන් කතා කරන්නෙ මොන වගේ දෙයක් ද?
ලෝකයට වැඩි වශයෙන් අවශ්‍ය දේ ආදරයයි. ‘‘ආදරේ ඕනෑ කෙරේ’’ ගීතයෙන් අපි කතා කරන්නෙ එයයි. ධනය – සම්පත් ආදී සියල්ල වගේම ඊට එහා ගිය ආදරය කියන දේ මානුෂීයව වැදගත්. අපි දෙන්නගෙ දෙවැනි විවාහ සංවත්සරය වගේම අකිල මල්ලිගෙ දියණියගෙ උපන් දිනය යෙදෙන්නෙත් ජනවාරි 18 වැනිදාටය. එය සමරන අතරේ ‘‘ආදරේ ඕනෑ කෙරේ’’ ලෝකයට මුදු හැරීමට අපි තීරණය කළා. මාත් එක්ක මේ ගීතය ගයන්න අපේම පවුලට අයත් දූ-දරුවන් එකතු වුණා. රාජ් තිලයියම්පලම්ගෙ මෙලඩි එක හරිම ලස්සනයි, අප්පච්චිගෙ රචනයට, අප්පච්චිම තමයි, මෙම වීඩියෝව අධ්‍යක්ෂණය කළෙත්. මේ ගීතය මුදා හරින්න හිතාගෙන හිටපු විදියට නෙවෙයි එය කරන්නෙ. මොකද පවතින කෝවිඩ් වසංගත තත්ත්වය නිසා ජනතාව ඒකරාශි කරන්න බැහැ. මාත්, අප්පච්චිගෙත් අදහස වුණේ, ළමා ගම්මානයකට, ළමා නිවාසයකට ගිහින්, ඒ අය එක්ක එළිදැක්වීමටයි. ඒත් පසුව ඒ තීරණය වෙනස් කළා. පසුව අපි ඒ අත්දැකීම ඔවුන් සමග තත්ත්වය යහපත් වුණාම එය කරනවා.
• මාධවී ආචාර්ය – මහාචාර්යවරියක දක්වා යන ගමනක් නේද මේ?
තවමත් මම ආරාධිත බාහිර කතිකාචාර්වයරියක ලෙස කටයුතු කරනවා. සංචාරක කර්මාන්තය තමයි මගේ විෂයය. කලාවේ මම යන ගමන යම්කිසි ප්‍රමාදවීමක් වූයේ නම්, අධ්‍යාපනය සහ ඒ හා සමගාමී වූ වැඩ නිසයි. රස්සාවල් හයක් විතර කරලා තියෙනවා. ඒ සියල්ලම විෂයයට අදාල වූ අංශවලයි. හැබැයි ස්කොලයේදිත් මම භාෂා අංශයේ නිර්මාණවලට දායක වුණා.
• මාධවී මේ විදියට සම්මාන ගත්තෙත්, නිර්දේශ වුණෙත්, අප්පච්චිගෙ නිර්මාණවලදියි. ඒ හැර වෙනත් අයගේ නිර්මාණවලට දායක වෙන්නෙ නැද්ද?
බොහෝ දෙනෙක් ඒ වැරදි මතයේ ඉන්නවා. මගේ අප්පච්චි බොහෝම කැමැත්තෙන් හිටියේ මම අධ්‍යාපනික වශයෙන් චරිතයක් වනවා දැකීමටයි. ඒ වුණත් මා වගේම, අප්පච්චිත් මම කලාවට දක්ෂය කියන දේ දන්නවා. හැබැයි එහෙමයි කියලා මම දායක වෙන්නෙ අප්පච්චිගෙ නිර්මාණවලට විතරක්ම නෙවෙයි. ආනන්ද අබේනායකයන්ගේ සිට විවිධ නිර්මාණකරුවන්ගෙ නිර්මාණවලට දායක වෙලා තියෙනවා.
• මාධවීගෙ යූ-ටියුබ් චැනලය ගැනත් කියමු?
මට මේක කරන්න මුලින්ම උදව් කළේ සජිත් මල්ලි. එයා තමයි මුල්ම වීඩියෝව රෙකෝඩ් කරලා දුන්නෙත්. අද මිලාන් මට ඒ වෙනුවෙන් බොහෝ උදව් කරනවා. මිලාන්ගෙ උපන් දිනයට හදපු කේක් එක හදන හැටි සජිත් මල්ලි බලාගෙන හිටියා. පසුව එය නැවත හදන හැටි රෙකෝඩ් කරලා පටන් ගත්ත චැනල් එකක් තමයි මෙච්චර දුර ගිහින් තියෙන්නෙ.
සඳුන් ගමගේ