අනියම් පෙමින් උපන් දරුවන් බහරේන්හි ගෘහ සේවිකා රැකියාවකට ගිය ශ්‍රී ලාංකික කාන්තාවක් රැගෙන ආ අතදරුවකු පැහැරගෙන යෑමට වෙනත් කාන්තාවන් දෙදෙනකු ඊයේ (3දා) කටුනායක ගුවන් තොටුපොළේදී ගත් උත්සාහයක් වැළැක්වූ ගුවන්තොටුපොළ නිලධාරිනියක් එම කාන්තාව සහ දරුවා කටුනායක 'සහන පියස' භාරයට ගෙන තිබෙනවා.
දරුවා රැගෙන පැමිණි කාන්තාව, ගුවන් තොටුපොළ විදේශ සේවා නියුක්ති කාර්යාංශ කවුන්ටරය මඟහැර රැඳී සිටියදී නිලධාරිනිය ඇය වෙත ගොස් ප්‍රශ්න කිරීමේදී, ඉන්දියන් ජාතිකයකුට දාව දරුවා ලැබුණු බවත්, ඇය දරුවාද සමඟ උෟව පළාතේ පිහිටි තම නිවෙසට යන බවත් සඳහන් කර ඇතැයි වාර්තා වනවා.
ඇගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමේදී, තමා වැඩ කළ නිවෙසින් අවුරුදු එක හමාරක්, (1 1/2) පඩි නොගෙවා වැඩගත් බවත්, එම නිවෙසින් පැන ගොස් සිටියදී දරුවා ලැබුණු බවත්, දරුවාගේ වයස මාස එකයි දින පහක් බවත් සඳහන් කළා.
ඒ අනුව, දරුවා තමන්ම හදා වඩා ගන්නා බවට ප්‍රකාශයක් අස්සන් කරවාගෙන නිලධාරීන් ඇයව ඇය මුදා හරිනු ලැබුවා.
දරුවා රැගත් කාන්තාව කාර්යාංශ කවුන්ටරය අසලින් ඉවතට යනවාත් සමඟම පැමිණි වෙනත් කාන්තාවන් දෙදෙනකු, දරුවාව තමන් අතට ගන්නට උත්සාහ කරනු දුටු කාර්යාංශ නිලධාරිනිය වහාම එම ස්ථානයට ගොස් ඔවුන්ගෙන් ප්‍රශ්න කර තිබෙනවා.
බහරේන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වැඩකරන අයකුගේ දැනුම්දීමක් අනුව, දරුවා රැගෙන යෑමට ගුවන්තොටුපොළට පැමිණි බව ඔවුහු සඳහන් කර තිබෙනවා.
මැද පෙරදිග රටවලින් රැගෙන එන සමහර දරුවන් විවිධ පුද්ගලයන් සහ ආයතන පැමිණ හොර රහසේම ගුවන් තොටුපොළින් පිටකරගෙන යෑම කාලයක් තිස්සේ සිදුවන බවට තොරතුරු ඇතැයි ගුවන්තොටුපොළ ආරංචි මාර්ග පවසනවා.