"හවස අපි ඇවිදින්න ආවා ගෝල්ෆේස් එකට. මෙතනින් අයිස්ක්‍රීම් අරන් පල්ලෙහාට බැහැලා එද්දී තරමක් බීමතින් හිටපු තරුණයෝ කිහිපදෙනෙක් ඇවිල්ලා ඇනේස්ටේෂියාගේ දේවල් ගැන අසභ්‍ය විදිහට කතා කළා. මෙයට බලහත්කාරකම් කරනවා, අතවර කරනවා කියලා තර්ජනය කළා..."
"ඔවුන් අපිට මොනවා හරි කිව්වා. නමුත් අවාසනාවකට මම සිංහල දන්නේ නැහැ. ඒ නිසා ඔවුන් කියපු දේවල් හරියටම තේරුණේ නැහැ. නමුත් මට හැඟුණා මගේ මිතුරන්ගේ ප්‍රතිචාර අනුව ඔවුන් මම ගැන තමයි මොනව හරි කියන්නේ කියලා. අපි ඔවුන්ව මගහැර යන්න උත්සාහ කළත් ඔවුන් අපේ පස්සෙන් ඇවිල්ලා ගැටුමක් ඇති කරගත්තා. මොනවද කරන්න ඕන කියලා හිතා ගන්න බැරිව මම සෑහෙන්න බය වුණා. මට එක පාරටම මතක් වෙලා මම සිද්ධිය වීඩියෝ කළා. ඇත්තටම ඒක ගොඩක් ප්‍රයෝජනවත් වුණා.."
එම වීඩියෝ පටය ඇය විසින් සමාජ මාධ්‍යයට මුදා හැර තිබුණේ එම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට සහය වන ලෙස කරන ලද ඉල්ලීමක්ද සමගින්.
පාඩුවේ ඉඳපන්. මේ වීඩියෝ කරනවා උඹට පේන්නේ නැද්ද?
ගහපන් ගහපන්. අඩෝ බලු වැඩ කරන්න එපා. ඌට ගහපන්.
එක්කන් පලයන් බං. මට ගහන්න එපා හරිද.
ඔයාලා තමයි ගහන්න පටන් ගත්තේ. හරි හරි අපිට සමාවෙන්න
උඹේ මොබයිල් එක.... මේ මේ අතපය උස්සන්න එපා.
හරිද කොම්පඤ්ඤවීදියේ..... ඒ සතීෂ්....
දැන් යන්න. දැන් යන්න. ගැහුවා ඇතිනේ. ඒ ගැහුවානේ බං වරෙන් බං
සිද්ධිය සම්බන්ධයෙන් ඇනෙස්ටේෂියා ඇතුලු පිරිස කොටුව පොලිසියට සිදු කළ පැමිණිල්ල මත විමර්ශන ආරම්භ වුණා.
ඒ අනුව ඊයේ රාත්‍රිය වන විට ප්‍රධාන සැකකරු ඇතුලු පුද්ගලයින් 5 දෙනෙක් අත් අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා.
"ඔවුන් 5 දෙනෙක් හොයාගෙන. ඇත්තටම එයින් මා විශ්මයට පත්වුණා. මම අවංකවම විශ්වාස කළේ නැහැ මේ සිද්ධිය මෙලෙස විසඳේවි කියලා. මම ආණ්ඩුවට, පොලිසියට සහ සංචාරක දෙපාර්තමේන්තුවට ස්තූති කරනවා. ඔවුන් ඇත්තටම විශිෂ්ට සේවයක් ඉටු කළා..."
අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනා කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවේ හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි. VIDEO
"මව්බිම" පුවත්පතේ මේ සම්බන්ධයෙන් පළ වී තිබූ වාර්තාව පහතින්...
ගාලු මුවෙදාර ප්‍රදේශයේ ඇවිදිමින් සිටි ශ්‍රී ලාංකික තරුණයකුට පහරදී ඔහුගේ රුසියානු ජාතික පෙම්වතියගේ පසුපස පෙදෙස මිරිකා ලිංගික වශයෙන් හිංසා කළ බව කියන පුද්ගලයන් දස දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇති බව කොළඹ සංචාරක පොලිස් කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් කුමාර මහතා පැවැසීය.
පොලිස් ස්ථානාධිපතිවරයා පවසන්නේ ඉහත කී පෙම් යුවළ ඉකුත් 5 වැනිදා (ඉරිදා) පස්වරුවේ ගාලු මුවෙදාර ඇවිදිමින් සිටින අතරවාරේ දස දෙනකුගෙන් සමන්විත බීමත් තරුණ පිරිසක් අතර සිටි එක් තරුණයකු එම රුසියානු ජාතික තරුණියගේ පසුපස පෙදෙස මිරිකා “අපි ඇයව බෙදා ගනිමු” යනුවෙන් ඔහු සමඟ සිටි සෙසු මිතුරන්ට පවසා ඇති බවය.
එසේ පහත් හැසිරීම් රටාවක නිරතව සිටි එකී තරුණයන් පිරිස මඟහැර යෑමට එම පෙම් යුවළ උත්සාහ කළද ඔවුන් එම පෙම් යුවළ පසුපස පැමිණීම නිසා ශ්‍රී ලාංකික පෙම්වතා ඔවුන්ට නවතින ලෙස දන්වා ඇති බවද ඒ අවස්ථාවේ කෝපයට පත් එම බීමත් තරුණ පිරිස ශ්‍රී ලාංකික පෙම්වතාට ඉතා අමානුෂික ආකාරයට පහරදී ඇති බවද එය වළක්වාලීමට ඔහුගේ පෙම්වතිය උත්සාහ කළද ඔවුන් දිගට හරහට ඔහුට පහරදී ඇති බවද ස්ථානාධිපතිවරයා පැවැසීය.
ඉහත කී පෙම්වතිය එකී පහරදීමේ සිද්ධිය වීඩියෝ ගත කිරීමට උත්සාහ ගත් අවස්ථාවේදී එහි සිටි එක් පුද්ගලයකු ඇයගේ අතට පා පහරක් දී දුරකථනය බිම දමා ඇති බවට කරුණු අනාවරණය වන බවද මෙකී සිද්ධිය දෙස එහි සිටි බොහෝ පිරිසක් බලාගෙන සිට ඇති නමුත් එය වැළැක්වීමට කටයුතු කර නොමැති බවද ඒ මහතා කීය.
සිද්ධියට මුහුණ පෑ එම පෙම් යුවළ එදින පස්වරුවේම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ කොටුව පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇති බවද ඒ මහතා පැවැසීය.
සිද්ධිය “මුහුණු පොත” හරහා හුවමාරු වන ආකාරය දුටු තමන් ඒ පිළිබඳව කඩිනම් විමර්ශනයක් ආරම්භ කළ බවද ඒ අනුව ඊයේ (6දා) පෙරවරු එම යුවළ තම පොලිස් ස්ථානය වෙත කැඳවා තොරතුරු විමසීමේදී මෙකී සිද්ධිය අනාවරණය වූ බවද පවසන ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
(උපුටා ගැනීම මව්බිම පුවත්පත.)