19වන ව්‍යවස්‌ථා සංශෝධනය යටතේ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව බොහෝ දෙනෙකුට නිසි අවබෝධයක් නොමැති බව පැහැදිලි කරුණක්.මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ව්‍යවස්‌ථා සම්පාදක කටයුතු පිළිබඳ උපදේශක ජයම්පති වික්‍රමරත්න මහතා කරනු ලබන පැහැදිලි කිරීමක් පහතින් දැක්වෙන්නේ විවාදාත්මක 19 පිළිබඳ ඔබේ දැනගැනීම සඳහායි.
ද්විත්ව පුරවැසිභාවය සහිත ශ්‍රී ලාංකිකයනට මින් ඉදිරියට මැතිවරණ සඳහා ඉදිරිපත් විය නොහැකි බව ජනාධිපතිවරයාගේ ව්‍යවස්‌ථා සම්පාදක කටයුතු පිළිබඳ උපදේශක ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි.
19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය යටතේ මෙම නීතිය ක්‍රියාත්මක බව ද හෙතෙම පෙන්වා දෙයි.
19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය තුළින් විධායක ජනාධිපතිවරයාගේ බලය සියයට 60 ත් 65 ත් අතර ප්‍රමාණයකින් අහෝසි වී ඇති බවත් ජනාධිපතිවරයාට එරෙහිව ශේ්‍රෂ්ඨාධිකරණයේ නඩු පැවරීමේ හැකියාවද නව ව්‍යවස්‌ථා සංශෝධනය යටතේ හිමි වී ඇති බවත් ජයම්පති වික්‍රම රත්න මහතා පැහැදිලි කළේය.
මීළඟ මහ මැතිවරණයෙන් පසු සුවිශේෂී කාලසීමාවක් සඳහා ප්‍රධාන පක්‍ෂ දෙක එකතු වී ආණ්‌ඩුවක් පිහිටුවන බවත් එම ආණ්‌ඩුවේ අගමැතිවරයා වන්නේ ජනාධිපතිවරයාගේ කැමැත්ත ඇති පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනා ගන්නා පුද්ගලයා බවත් ඒ මහතා කීවේය.
19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට අනුව විධායක ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා, සේනාධිනායකයා, පාර්ලිමේන්තුවේ ප්‍රධානියා සහ කැබිනට් මණ්‌ඩලයේ ප්‍රධානියා වුවත් ඇමැතිවරු පත් කිරීමේදී අගමැතිවරයාගේ උපදෙස් මත කටයුතු කළ යුතු බව ද හෙතෙම සඳහන් කළේය.
අගමැතිවරයා ඉවත් කිරීමේ බලය ජනාධිපතිවරයාට අහිමි වන අතර අගමැතිවරයා ඉවත් කළ හැක්‌කේ පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත වන විශ්වාසභංගයකින් හෝ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෝ අයවැය පරාජයට පත් වුවහොත් ආණ්‌ඩුව විසුරුවා හැරීම තුළින් බවත් ජයම්පති වික්‍රමරත්න මහතා පැහැදිලි කළේය.
ඉන්පසු ජනාධිපතිවරයා විසින් නව ආණ්‌ඩුවක් පත් කරනු ලැබේ. මෙහිදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදු නොවන බවද හෙතෙම සඳහන් කළේය.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවන්නේ පාර්ලිමේන්තුව පත්ව වසර 4 1/2 කට පසුය.
පාර්ලිමේන්තුවේ සහ ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5 කට සීමා වේ.
කැබිනට් ඇමැති ධුර සංඛ්‍යාව 30 කටත් නියෝජ්‍ය ඇමැති සහ රාජ්‍ය ඇමැති ධුර සංඛ්‍යාව 40 කටත් සීමා වන අතර ප්‍රධාන පක්‍ෂ දෙක එකතු වී ගොඩනගන ආණ්‌ඩුවට පාර්ලිමේන්තුවේ අභිමතය පරිදි ඇමැති ධුර සංඛ්‍යාව වෙනස් කරගත හැකි බවද ජයම්පති වික්‍රමරත්න මහතා සඳහන් කළේය.