‘ගින්දරී’ චිත්‍රපටයේ මංගල දර්ශණය අද (24) කොළඹදී පැවැත්වෙනවා.
එහි කාගේත් සිත් ගනු ඇතැයි බලාපොරොත්තුවන චරිතයක් ලෙස ‘ටිකිරි’ගේ චරිතය සැලකෙනවා.
ටිකිරිගේ චරිතය රඟපාන පබෝධා සංදීපනී ඒ ගැන කියන්නෙ මෙලෙසයි.
බහුබූතයෝ චිත්‍රපටයේ අමතක නොවන චරිතයක් රඟපාපු පබෝධා, කාලෙකට පස්සේ බහුබූතයෝ දෙවැනි කොටසෙන් නැවතත් ඒ චරිතයට පණදෙනවා. කොහොමද බහුබූතයෝ නවත්වපු තැනින් ආයෙමත් වැඩ පටන්ගත්තේ?
අවුරුදු 12කට පස්සෙයි මට ‘ගින්දරි’ චිත්‍රපටයේ ‘ටිකිරි’ගේ චරිතය රඟපාන්න ලැබුණේ. ඒ කාලේ මම ටිකක් පොඩියි. හැබැයි දැන් මට පුතෙක් ඉන්නවා. ඒ නිසා කාලෙකට පස්සේ රඟපාපු ‘ගින්දරි’ චිත්‍රපටය මට ලොකු අභියෝගයක් වුණා.
කොහොමද ඒ අභියෝගයට මුහුණ දුන්නේ?
බහුබූතයෝ රඟපාපු කාලෙට වඩා මම දැන් ටිකක් මහතයි. ඒ නිසා චරිතයට ගැළපෙන විදියට ඇඟේ බර අඩු කරගන්න එක තමයි ලොකුම අභියෝගයක් වුණේ. හැබැයි මම ව්‍යායාම කරලා කිලෝ 6කින් මගේ බර අඩු කරගත්තා.
වෙච්ච මහන්සියේ ප්‍රතිඵල ලැබේවි කියලා හිතනවාද?
අමාරුවෙන් රඟපෑවාට චිත්‍රපටයේ වැඩ ඉවර වුණාට පස්සේ හරිම සතුටුයි. රඟපෑම දැකපු අය නම් කියනවා මම ඒ චරිතය හොඳට කළා කියලා. බලමු ප්‍රේක්ෂකයෝ මොනවගේ ප්‍රතිචාර දක්වයිද කියලා.
පබෝධා දැන් පුංචි තිරය අමතක කරලාද තියෙන්නේ?
එහෙම දෙයක් නෑ. පුතාගේ වැඩකටයුතු නිසයි රඟපෑම ටිකක් අතපසු වුණේ. පුතා ලැබුණාට පස්සේ මම ‘ගින්දරි’ චිත්‍රපටයේ තමයි මුලින්ම රඟපෑවේ. මේ දවස්වල නම් ‘හදවිල අරණ’ සහ ‘දියණියෝ’ ටෙලිනාට්‍යවල රූගතකිරීම්වලට සහභාගි වෙනවා. ‘දියණියෝ’ ටෙලිනාට්‍යයේ විශේෂත්වය තමයි ඒ ටෙලිනාට්‍යයේ මට රඟපාන්න වෙලා තියෙන්නේ බස් රියැදුරුවරියකගේ චරිතයක්.
ඒ කියන්නේ ඉදිරියේදී පබෝධා වෙනදා වගේම නිතරම කලා නිර්මාණවලින් දැකගන්න පුළුවන් වේවිද?
පුතාගේ වයස දැන් අවුරුදු එකයි මාස නවයයි. කොළඹ අවට රූගත කිරීම්වලට නම් සම්බන්ධ වෙන්න මට දැන් පුළුවන්. හැබැයි රාත්‍රී කාලයේ නම් පුතා මාව හොයන නිසා දුරබැහැර රූගත කිරීම්වලට යන්න අමාරුයි. හැබැයි සැමියාගේ පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය නිසා රඟපෑමට ටිකක් අවධානය යොමුකරන්න මට දැන් පුළුවන්.