ජාතික ශෝක දිනයක් වූ පසුගිය 12 වැනිදා මත්පැන් අලෙවි කළ හලාවත නගරයේ පිහිටි රටබීම තැබෑරුමක හිමිකරුවෙකුට සුරාබදු කොමසාරිස් ජනරාල් එල්.කේ.එස්.ගුණවර්ධන මහතා විසින් රුපියල් 13,50,000 ක දඩ මුදලක් නියම කර තිබෙනවා.
අස්ගිරි පාර්ශවයේ මහානායක ස්වාමීන් වහන්සේගේ ආදාහන පුජෝත්සවය පැවතීම නිසා එදින ජාතික ශෝක දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කරන ලදී.
එදින දිවයින පුරා පිහිටි සුරා සැල් වසා තබන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් වරයා විසින් නියම කර තිබුණා.
නමුත් හලාවත නගරයේ දුම්රිය ස්ථානයට ආසන්නයෙන් පිහිටි මත්පැන් අලෙවි කරන ස්ථානයක් විවෘත කර සාමාන්‍ය පරිදි අලෙවි කටයුතු සිදු කරන බවට වූ තොරතුරක් මත හලාවත සුරාබදු ස්ථානයේ නිලධාරීන් මෙම ස්ථානය වටලනු ලැබුවා.
මුද්‍රා තබන ලද රට බීම තැබෑරුමට එරෙහිව සුරාබදු දෙපාර්තමේන්තු නීති පටිපාටිය අනුව අදාල දඩය නියම කිරීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා කටයුතු කර තිබෙනවා.