මීට අවුරුදු දෙකකට විතර ඉස්සර සිදුවූ හදිසි අසනීප තත්ත්වය හේතුවෙන් මට අද ඇවිදගන්න බැරුව ඉතා අසරණ තත්ත්වයෙන් පසුවෙන්නේ. ඒ නිසා දැන් ඉතින් මං මගේ කලා ජීවිතයේ ඒ කාලේ තොරතුරු සිහිපත් කරමින් ගෙදරටම වෙලා ඉන්නවා
සම්පූර්ණ නම කියන්න බලන්න?
උප්පැන්නයේ සඳහන් නම ටිකක් දිගයි. ඒ නිසා කලාව වෘත්තිය කරගත්තයින් පසුව ගාමිණී අම්බලන්ගොඩ නමින් පෙනී සිටියා.
ඔබේ මවත්, පියාත් කලාකරුවන්ද? එසේ අහන්නේ ගම අම්බලන්ගොඩ නිසා?
නැහැ. තාත්තා ව්‍යාපාරිකයෙක්. මව ගෘහණියක්. මට අයියා කෙනෙක්, අක්කලා දෙන්නෙකුත් ඉන්නවා. මං හැර ඒ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නැහැ.
ඉගෙනගත් පාසල?
අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලය
කොහොමද පාසල් ජීවිතය?
පන්ති කාමරයේ වැඩවලටත් වඩා හිත ගියේ කලා කටයුතුවලට. මේ නිසාම පාසලේ ආචාර්ය මණ්ඩලයේ සිටි පද්මශීලී ද සිල්වා ගුරුතුමා නිර්මාණය කළ ‘නුරාමල්’ වේදිකා නාට්‍ය‘යේ මට රඟපාන්න වාසනාව ලැබුණා. එම නාට්‍ය‘යේ නැටුම් සහ සංගීතය නිර්මාණය කළේ බලපිටියේ නෝමන් ගුණසිංහ කියන මහා කලාකරුවා. මට දැන් ප්‍රතිකාර කරන පොල්වත්තේ ඉෂානි වෛද්‍යතුමියගේ පියාණන් වූ යසලාල් ඒ නාට්‍ය‘යේ ඇහැලේපොළ කුමාරයාගේ චරිතය රඟපෑවා.
පාසල් ජීවිතයට සමුදීමෙන් පසුව?
ජාතික තරුණසේවා සභාවට බැඳිලා බෙල්වුඩ් කලායතනයෙන් නර්තන ශිල්පය හැදෑරුවා. අපට ඉගැන්නුවේ කුලසිරි බුදවත්ත මහතා. හැබැයි ඊට පෙර අම්බලන්ගොඩ සිටින ටුක්කාවඩු හරිස්චන්ද්‍ර ගුරුතුමාගෙන් කෝළම් නාට්‍ය සම්ප්‍රදාය ඉගෙන ගත්තා. ඒකත් කිව යුතුයි. එතුමා තවමත් ජීවතුන් අතර සිටින බව සතුටින් ප්‍රකාශ කරනවා.
බෙල්වුඩ් කලායතනයේ හැදෑරීම් ගැන වැඩි විස්තරයක් කරන්න බලන්න
1981දී පුහුණුව අවසාන කරන කාලයේ අපේ නැටුම් කණ්ඩායම සමග මටත් ලෝකයේ රටවල් 15ක සංචාරය කිරීමේ වාසනාව හිමිවුණා. ජපානය, ඩෙන්මාර්කය, ස්වීඩන්, එංගලන්තය, නෝර්වේ, ඉන්දියාව, බුරුමය ආදී රටවල්වල සංචාරය කිරීමේ වාසනාව උදාවුණේ තරුණ සේවාව නිසා.
ඒ සංචාරයේදී අමතක නොවන සිදුවීම් මොනවාද?
ජපානයේ එවකට සිටි අගමැතිවරයා සහ ජපානයේ හිරෝහිතෝ අධිරාජයා මුණගැසී එතුමන්ලා සමග ඡායාරූපයකට සිටීමටත් අපට අවස්ථාව ලැබුණා. ඇත්තම කියනවා නම් බෙල්වුඩ්වලින් මගේ කලා ජීවිතය ආලෝකමත් වුණා.
එසේ අලෝකමත් වීමෙන් පසුව ලැබුණු ප්‍රතිචාර කොහොමද?
ප්‍රසිද්ධ වේදිකාවට එන්නට මට ආරාධනාව ලැබුණේ පුණ්‍ය‘සෝම මාස්ටර්ගෙන්. එතුමාගේ ‘දික්තල කාලගෝල’ වේදිකා නාට්‍යයේ රඟපාන්න. එම නාට්‍යයේ මම තමයි දික්පිටියා. මැණිකේ අත්තනායක දික්තලා. පසුකලෙක එම නාට්‍ය‘යේ මම, මාධනී මල්වත්ත සමඟත් රඟපෑවා.
තවත් ටිකක් ජනප්‍රිය වෙනවිට?
ජනක් ප්‍රේමලාල්ගේ ‘රජගහේ නාඩගම’, ‘රාජ කපුරු’ ආදී වේදිකා නාට්‍ය විශාල සංඛ්‍යාවක රඟපාමින් රඟපෑම ජීවන වෘත්තිය කරගත්තා.
සියලුම ශිල්පීන් එකම වාහනයක නැගලා ඈත පළාතක නාට්‍යයක් වේදිකාගත කිරීමට යන ගමන කොහොමද?
හරිම සුන්දරයි. මට කේන්ති ගියාම එළියට පනින ලස්සන වචන මල්ලක් මම ළඟ තියෙනවා. ඔන්න ඔය මල්ලේ තියන වචන ටික අහගන්න ජනක් ප්‍රේමලාල්, සරත් කුලාංග, රවීන්ද්‍ර මාව අවුස්සනවා. ඔන්න ඔය වෙලාවට තමයි ඉතින් මගේ කටේ තියන අර වචන මල්ල එළියට පනින්නේ. දැන් ඇවිදගන්න බැරිව ගෙදරට වෙලා ඉන්න මට ඒ අතීතය මතක් වෙනකොට හරියට දුක හිතෙනවා.
එසේ ඈත පළාත්වලට යන ගමන්වලදී කොහොමද රසික ප්‍රතිචාර?
හරිම ඉහළයි. රසික රසිකාවියෝ ඇවිත් මගේ අතින් අල්ලගෙන මේ අපේ නළු මහත්තයා නේද කියලා අහනවා. මට ඒ වෙලාවට හැඟීමක් එනවා කලාකාරයා මොන තරම් වටින පුද්ගලයෙක්ද කියලා.
නාට්‍ය සංවිධායකවරු මුදල් නොදී මාරු වී යන අවස්ථාවන්ට මුහුණ දීලා තියෙනවද?
අපොයි ඔව්.. එහෙම දවස්වලට අපි කෙළින්ම එන්නේ වරකාපොළ ‘ජිනදාස තලගුලි’ මුදලාලිගේ හෝටලයට. එතුමා ඒ දවස්වල අපේ කට්ටියගේ නාට්‍ය අරගෙන වේදිකාගත කරපු හොඳ කලාකාරයෙක්. ඉතින් අපේ ප්‍රශ්නය කියපු ගමන් අපේ ශිල්පීන් නඩයටම හොඳට කන්න බොන්න දීලා පිටත් කර හරිනවා.
ඒ නාට්‍ය කලාකරුවන්ට ආදරය කළ හිතවතෙක්. ගාමිණී අම්බලන්ගොඩ කියන ජනප්‍රිය රංගන ශිල්පියාටත් හමුවුණේ නැද්ද ආදරය දක්වන හිතවතියක්?
හමුවෙලා තියෙනවා. ඒත් මගේ අක්කා විවාහ වෙනතුරු මම විවාහ වෙන්නේ නැහැ කියන තීරණයක් අරගෙන තිබුණ නිසා මම ඒ වගේ සම්බන්ධතා ගැන සැළකිලිමත් වුණේ නැහැ. මහනුවර පැත්තේ සම්බන්ධයක් තිබුණා. මං ඒකටත් ඉතා සුහදව ආයුබෝවන් කිව්වා.
ඉතින් දැන්?
අක්කා විවාහ විය යුතු වයසත් පැන්නා. මමත් ඒ තීරණයේම තවමත් ඉන්නවා. දැන් මගේ වයස අවුරුදු 65 යි.
ඔබේ අසනීප තත්ත්වය ගැනත් ටිකක් පැහැදිලි කරන්න.
මීට අවුරුදු දෙකකට විතර ඉස්සර මම ගාල්ලේ සංදර්ශනයකට ගියා හිතවත් මහත්මයෙක් සමඟ එතුමාගේ වාහනයෙන්. මගදී මට වමනය ආවා. මම වාහනයෙන් බහිනකොට මාව කැරකිලා ගොහින් බිම ඇඳගෙන වැටුණා. වම් කකුල බිම ඇනුණා. ඒ වෙලාවේ ඒ කකුලේ ඇඟිලි දෙකක් කිසිම ප්‍රාණයක් නැති විදිහට එල්ලෙන්න පටන් ගත්තා. ඊට පසුව කරාපිටිය රෝහලට ඇතුළු වුණා. තදබල ලෙස ප්‍රෙෂර් වැඩිවෙලා වූ අසනීප තත්ත්වයක් හැටියට වෛද්‍යවරු තීරණය කලා. තවදුරටත් අසාධ්‍ය වීම වළක්වාගන්න මගේ වම් පාදයේ විලුඹ ඉතිරි කරලා ඉතිරි කොටස කපලා දැම්මා. දැන් නිවසේ සිටිමින් පොල්වත්තේ වෛද්‍යවරියකගෙන් ප්‍රතිකාර ගනිමින් සිටිනවා.
හිතවත් කලාකරුවෝ ඔබ බලන්න ආවද?
ඔව්. විශාල පිරිසක් ඇවිත් මාව බලලා මට උදව් උපකාර කළා. ඒ උදව්වලින් තමයි මං තවමත් ප්‍රතිකාර ගන්නේ. අම්බලන්ගොඩ හිතවතුන් කිහිපදෙනෙක්ම මට උදව් උපකාර කළා. බෙල්වුඩ්වල සිටි මගේ මිතුරියෙක්ද මට උදව් කළ බව කිව යුතුයි. මේ අතරේදී ගිරිරාජ් කෞශල්‍යගේ අලුත්ම චිත්‍රපටයේ කෙටි චරිතයක් රඟපාන්න කියලා මම මේ තත්ත්වයෙන්ම සිටියදීම එක්කරගෙන ගියා. ඒත පුටුවක වාඩිවෙලා සිටිමින් කළ රඟපෑමක්.
කොහොම හරි මගෙන් වැඩක් ගැනීම නිර්මාණකරුවන්ගේ යුතුකමක්. එසේ නොකළත් අනේ මං තරහ නෑ. ඒ අයට හැමදාමත් මට උදව් කරන්න බැරි බව මං දන්නවා. අක්කත් දැන් ලෙඩ ගාණේ. මමත් දැන් ලෙඩ ගාණේ. මම ඉගෙනගත් ශිල්පය නැගී එන දරුවන්ට දන් දීලා තියෙනවා. මගේ රංගන කලාවෙන් මං ජනතාව සතුටට පත්කරලා තියෙනවා. ඒ සතුට තමයි මට තියෙන්නේ.