‘දිනූ නිදහස අනතුරක, ජාතියේ අභියෝගය ජයගැනීමට පෙළ ගැසෙමු’’ යන තේමාව යටතේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධාන කළ ජනරැළියක් නුගේගොඩදී අද පැවැත්වුනා. මෙම රැස්වීම සංවිධානය කළේ මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමයයි.
මීළඟ මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කළ යුතු බව අවධාරණය කරමිනුයි ඔවුන් මෙම රැස්වීම සංවිධාන කර ඇත්තේ.
ජනරැළිය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එවූ පණිවුඩය ඉදිරිපත් කළේ ජිනීවා හි හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සහ ප්‍රකට රාජතාන්ත්‍රික නිලධාරියෙකු වන ආචාර්ය දයාන් ජයතිලක විසින්.
එම පණිවුඩය පහතින්....
අද මෙතන නියෝජනය වන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී මට ඡන්දය දුන් පනස් අට ලක්ෂය පමණක් නොවන බවත් නොයෙක් හේතු මත හැට දෙලක්ෂයට එක්වූ අයගෙන් සැළකියයුතු පිරිසක්ද අද මෙතැන නියෝජනය කරන බවත් මා මුලින්ම ප්‍රකාශ කළ යුතුයි. එක අරමුණකින් රැස්ව සිටින ඒ දෙපාර්ශ්වයේම තමුන්නාන්සේලා සියළු දෙනාම මම ඉතා ආදරයෙන් ද ගෞරවයෙන්ද පිළිගනිමි.
රටේ ජනාධිපති ලෙස සිටියදී මා හමුවන්නට නොපැමිණි බොහෝ හිතහොඳ මිනිසුන් පසුගිය සති කිහිපයේදී දුර කතර ගෙවාගෙන මා බලන්නට පැමිණ තම හිතවත්කම ප්‍රකාශකිරීම ජීවිතයේ මා ලද අළුත්ම ජයග්‍රහණය බව ඉතා නිහතමානීව ප්‍රකාශ කරන්නට මම මේ අවස්ථාව උපයෝගී කර ගන්නෙමි. ඒ හැම දෙනාම මට පැවසූ එක් පොදු කාරණයක් නම් අප මේ බුක්ති විඳින්නේ පරාජයක් නොව කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවයි.
ගෞරවනීය හාමුදුරුවන් වහන්ස, පූජකතුමනි,
පරාජය පරාජයක් ලෙස පිළිගන්නට මම කිසිසේත් පසුබට නොවෙමි. මන්ද පරාජය මට නුහුරු දෙයක් නොවන බැවිනි. එසේම අවමානය ද මට නුහුරු දෙයක් නොවේ. සිරගෙය පවා මට නුහුරු දෙයක් නොවේ. මගේ ජනතාව වෙනුවෙන් මා මේ සියල්ලම විඳ පුරුදුවී ඇති බව ඔබ සියළු දෙනාම දන්නා කරුණකි.
ඒ ආකාරයටම බොහෝ දෙනාට නුහුරු, බොහෝ දෙනා අත්විඳ නැති අභිමානනීය ජයග්‍රහණයන් ද මට නුහුරු දෙයක් නොවේ. බොහෝ දෙනා පරාජයට හුරු වූවන් උවත් සැබෑ අභිමානවත්, ගෞරවනීය ජයග්‍රහණයක හිමිකරුවෙකු විය හැක්කේ අවංක නායකයෙකුට පමණක් බව මගේ විශ්වාසයයි. මම ඒ අභිමානවත් ජයග්‍රහණ ද බුක්ති විඳීමේ අවස්ථාව ලද කෙනෙක් බව ආඩම්බරයෙන් ප්‍රකාශ කරමි.
2005දී මා ලැබුයේ අසීරු ජයග්‍රහණයකි. ඒ ජයග්‍රහණය මට ලබාදුන් රටටත් ජනතාවටත් මා ලබාදුන් ජයග්‍රහණය වූයේ 2009දී කොටි ත්‍රස්තවාදය සහමුලින්ම පරාජය කර රට මරණ බයෙන් නිදහස් කර ගැනීමයි. ඊට කළගුණ සළකමින් 2010දී වැඩි ඡන්ද දහඅට ලක්ෂයක ජයග්‍රහණයක් රටේ ජනතාව මට ලබාදුන් අතර ඒ වෙනුවෙන් මා රටට යළි ලබාදුන්නේ මහා පරිමාණ සංවර්ධන මාවතට රට යොමු කිරීමේ ජයග්‍රහණයයි. මේ සහයෝගී දම්වැල මේ ආකාරයෙන් ඉදිරියට යාම රටේ සතුරන්ට ඉවසා සිටිය නොහැකි වූ බව පසුගියදා තහවුරු විය. ඒ අන්‍යොන්‍ය ජයගහණ මාලාව ආපසු හරවන්නට රටේ සතුරන්ට උවමනා වී තිබිණි. ඒ අනුව කරන ලද කුමන්තණය සාර්ථක විය. අප අද අත්විඳින්නේ රටට එරෙහිව සිදුකළ කුමන්ත්‍රණයක ප්‍රතිඵල මිස පරාජයක් නොවන බව ඒ අනුව මමද පිළිගනිමි.
උපන්ගෙයි ශ්‍රී ලංකා කාරයෙකු වන, අදටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෞරවනීය සාමාජිකයෙකු වන මා ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද පරාජය නොවූ බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ද පරාජය නොවූ බවයි. පාර්ලිමේන්තුව තුළ අද පවතින සුළුතර ආණ්ඩුව සහ තුනෙන් දෙකේ විපක්ෂය දෙස බැලීමෙන් මා මේ කියන කාරණය තහවුරු වනු ඇත.
තමන් අභිමානවත් ජයග්‍රහණයක් ලබාගත්තායැයි හිතට එකඟව හිස කෙලින් තබාගෙන ප්‍රකාශ කරන ලෙසට මම රටේ සතුරන්ට අභියෝග කරමි. කූඨ ගනුදෙනුවක ලාභ බෙදාගැනීම යනු ජයගහණයක් නොවන බව මම ඔවුනට අවධාරණය කරමි.
පරාජය නොවූ නමුත් බලය අහිමි වූ අප සැමගේ දේශපාලන යාත්‍රාව එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. එය හුදෙක් නායකයින්ගේ පමණක් දේශපාලන සන්ධානයක් නොවේ. එය මේ රටට ආදරය කරන පුළුල් මහජන ප්‍රවාහයක එකතුවයි. පරාජය නොවී බලය අහිමිවීමේ අප්‍රසන්න අත්දැකීමට මුහුණ දී සිටින ඒ ජනතා ප්‍රවාහයේ බලාපොරොත්තු නියෝජනය කරන්නටත් ඒ බලාපොරොත්තු අළුත් කරන්නටත් සන්ධානයේ පක්ෂ ගන්නා මේ උත්සාහයට මා සුබපතන්නේ සන්ධාන දේශපාලනය හරහා රටට ලබාදුන් ජයග්‍රහණ වලටද යළි හිස නමා ගෞරව කරමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ මේ සන්ධානයේ බල මහිමයෙන් ලොව මවිත කළ ජයග්‍රහණ රටට ලබාදෙන්නට අපට හැකිවූ බව මට කිසිදා අමතක නොවේ. අපේ ජීවිත, අපේ සමීපතමයින්ගේ ජීවිත පමණක් නොව අපේ ඊළග පරම්පරාවේ ජීවිත පවා පරදුවට තබමින් ඒ භයානක සටනට එළමෙන්නට මා තීරණය කළේ සන්ධාන දේශපාලනයේ ශක්තිය පිළිබඳව මට තිබුණු විශ්වාසය නිසා බව මම පැහැදිලිව ප්‍රකාශ කරමි.
එසේම යළි එවන් ජයග්‍රහණ රටටත් ජනතාවටත් ලබාදිය හැක්‍කේ ද ඒ යහපත් අරමුණ සහිතව එකතුවන ජනතා සන්ධානයක ශක්තියෙන් බව මම විශ්වාස කරමි. ඒ ජයග්‍රාහී අරමුණ පෙරදැරිව අද නුගේගොඩට මේ එක් රොක්වී සිටින ජනතා පවුරේ දෑත් මම ඉතා තදින් වැළඳගන්නා බව බොහොම ගෞරවයෙන් යුක්තව මම ප්‍රකාශ කරමි. රට ගැන හිතන, රට වෙනුවෙන් කැපවෙන ඔබගේ ඒ අපේක්ෂාවන් නොසළකාසිටීමේ හැකියාවක් කිසිසේත් මට නොමැති බව මම අවධාරණය කරමි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහජන සහ නායක බලවේග මේ දිගුකරන සහෝදරත්වයේ දෑත් ගෞරවයෙන් ද සහෝදරත්වයෙන් ද සුපුරුදු ලෙන්ගතුකමින් ද වැළඳගන්නා බව මම යළිත් ප්‍රකාශ කරමි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජයවේවා.
අපි අපේ පණමෙන් රකින අපේ මාතෘ භූමියට ජයවේවා.
ඔබ සැමට ජය වේවා.
මහින්ද රාජපක්ෂ
හිටපු ජනාධිපති