නවක වදයට මුහුණදීමට නොහැකිව තම දරුවා සියදිවි හානිකරගත් බවට පන්නිපිටිය - මාබුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි සබරගමුව සරසවි සිසුවියකගේ මවක් චෝදනා කරනවා. මෙම මව පශ්චාත් මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් සඳහන් කර ඇත්තේ නවක වදය නිසා තම දියණිය මානසික ආබාධයකට ද ලක්වූ බවයි.
පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයට ඇතුළත් වූ 23 හැවිරිදි අමාලි චතුරිකා මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ දේවී බාලිකා විද්‍යාලයෙන්. ඇය තම නිවසේදී පෙරේදා ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබූ අතර, දිවි නසා ගැනීමට පෙර ලිපියක් ද ලියා තිබෙනවා.
පොලිසිය ප්‍රකාශ කරන පරිදි ‘‘මම මැරෙනවා, මගේ මිනිය වළ දාන්න එපා, දේවිමාතාව ඉදිරිපිට බොරැල්ල කනත්තේ එය සිදුකරන්න. මගේ අවමංගල්‍යය උත්සවයට විශ්වවිද්‍යාලයේ කිසිවෙකුත් සහභාගී කර නොගන්න.’’ යනුවෙන්, එහි සඳහන්ව තිබෙනවා.
කෙසේ වෙතත්, පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇයගේ මව ලබාදුන් ප්‍රකාශයේ දැක්වෙන්නේ තම දරුවා නවක වදය හේතුවෙන් මානසික ආබාධයකට ලක්ව සිටි බවයි. එසේම, ඇය ඒ සඳහා ප්‍රතිකාර ගනිමින් සිටියදී සියදිවි හානිකරගෙන ඇති බව ද එම මව එහිදී සඳහන් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සබරගමුව සරසවියේ උපකුලපති චන්දන පී. උඩවත්තගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ මීට මාස 06 කට පෙර අදාළ සිසුවිය රෝගී තත්ත්වයක් හේතුවෙන් සරසවියෙන් නිවාඩු ලබාදී නිවසට පිටත් කර යවා තිබූ බවයි. එමෙන්ම, සබරගමුව සරසවිය තුළ මේ වනවිට නවක වද සිද්ධීන් නොමැති බවද උපකුලපතිවරයා සඳහන් කළා. අසනීප වීම නිසා මෙම සිසුවිය මේ වසරේ නවක සිසුන්ගේ අධ්‍යයන වර්ෂයේදී යළිත් අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට නියමිතව සිටි බව ද සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති චන්දන පී. උඩවත්ත වැඩිදුරටත් කියා සිටියා.
මේ සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දිකගෙන් ද විමසීමක් කළා. ඔහු ප්‍රකාශ කළේ ද සබරගමුව සරසවිය තුළ දැන් නවකවද සිද්ධීන් නොමැති බවයි.
මේ පිළිබඳ මීට පෙර වාර්තාව මෙතනින්....