දිනෙන් දින පුවත් මවන ඉන්දීය IPL තරඟාවලියේ ඊයේ පැවති තරඟය කඩුලු 7 කින් ජයගන්නට ෂාරුක් ඛාන් හිමිකාරීත්වය දරන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්වුණේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරාජය කරමින්.
එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 160ක්. රාජස්තාන් ඉනිමේ කැපී පෙනෙන ඉනිම ක්‍රීඩා කල මැතිව් ෂෝර්ට් හතරේ පහර 5 ක් සහ එක් හයේ පහරක් සමඟ ලකුණු 44 ක් රැස්කළා.
සියල්ලන්ගේ අවධානය යොමුවූ ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ රාජස්ථාන් නායක අජින්කයා රහනේගේ ලකුණු 36කට දැවී යාම රාජස්තාන් බිඳ වැටීම ලෙසයි බොහෝදෙනෙකු හැඳින්වූයේ. එහිදී නිතිෂ් රානා යොමුකළ පන්දුවකට ඉදිරියට පැන පහරක් එල්ලකිරීමට යාමේදී කොල්කටා කඩුලු රකින ක්‍රීඩක නායක දිනේෂ් කාර්තික් තප්පර කිහිපයක් තුල ක්‍රියාත්මක වුණා.
විදුලි වේගයෙන් ඉදිරියට පැන පන්දුව ගෙන කාර්තික් කෙළින්ම කඩුල්ලට එල්ලකළේ රහනේගේ ඉනිම නිමා කරමින්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 5 කදී කඩුලු 3 ක් පමණක් දැවී පහසුවෙන් ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.
එහිදී රොබින් උතප්පා ලකුණු 48 ක් රැස්කළේ පන්දු 36 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමඟින්. ඔහුගේ ඉනිම අවසන් වුනේ හතරේ සීමාව ආසන්නයේ සිටි බෙන් ස්ටෝක්ස් විසින් ආරක්ෂිතව උඩ පන්දුවක් රැකගැනීමත් සමඟයි.
උඩපන්දුව රැකගත්තද සමබරතාව ගිලිහී ගිය බෙන් ස්ටෝක්ස් පන්දුව ඉහළට විසි කරමින් නැවත ආරක්ෂිතව පන්දුව රැකගැනීමට සමත්වූවා. අවසානයේ නිතිෂ් රානා නොදැවී ලකුණු 35ක් සහ දිනේෂ් කාර්තික් නොදැවී ලකුණු 42ක් රැස් කරමින් කොල්කටා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.
දිනේෂ් කාර්තික් විසින් ලබාගත් දුවද්දී දැවී යාම
බෙන් ස්ටෝක්ස්ගේ උඩ පන්දු රැකගැනීම