පැරණි ගීතවලින් වගේම නව පරපුරට ගැලපෙන ගීතවලිනුත් රසික හදවත් දිනාගත්තු ගායකයෙක් තමයි චන්ද්‍රෙස්න හෙට්ටිආරච්චි.
ඉතිං කාගෙත් ආදරය දිනාගත්තු චන්ද්‍රෙස්න හෙට්ටිආරච්චිගේ අලුත්ම විස්තර ගැනත් සංගීත දිවිය ගැනත් සතිඅන්ත පුවත්පතකට ඔහු මෙලෙස අදහස් දක්වා තිබුණා.
මේ දවස්වල ඔබේ අලුත් වැඩකටයුතු මොනවද..?
මේ දවස්වල අලුත් ගීත කිහිපයක් නිර්මාණය කරනවා.
එකක් මව්ගුණ ගීතයක්. අනෙක ආදර ගීතයක්.
ක්ෂේත්‍රයට ඇවිත් දැන් දශක 4කටත් වැඩියි නේද..?
ඔව්.. මම ක්ෂේත්‍රයට ආවේ 1970 ගණන්වල.
නමුත් මම ජනප්‍රිය වුණේ 1980 වසරෙදි. ඒත් ඊට කලිනක් මම ප්‍රසිද්ධ වේදිකාවේ ගීත ගායනා කරලා ගම් ප්‍රදේශයේ ජනප්‍රියත්වයට පත්වෙලා හිටියේ.
මෙතෙක් ආපු ගමන්මග ගැන මතකය අවදි කළොත්..?
ඇත්තටම මගේ ගමන්මග ගැන මම ආපසු හැරිලා බලද්දි මම හුඟක් සතුටු වෙනවා.
මොකද මම යටියන්තොට ගරාගොඩ කියන ගමක ඉඳලා ඇවිල්ලා මේ ක්ෂේත්‍රය දිනාගන්න ලැබුණු එක ගැනම සතුටු වෙනවා.
දැනට ගීත කීයක් විතර ගායනා කරලා තියෙනවද..?
එහෙම නම් කියන්න මතක නැහැ.
මම කැසට් පට 43 කට ගීත ගායනා කරලා තියෙනවා.
ගීත 300 කට ආසන්න ප්‍රමාණයක් ගායනා කරලා ඇති කියලා හිතෙනවා..
ඒ ගීත අතරින් ඔබව ජනප්‍රිය තලයක තිබ්බ ගීතත් තියෙනවනේ..?
මම ගායනා කළ ගීත අතරින් ගොඩක් ජනප්‍රිය වුණා. මුලින්ම ජනප්‍රිය වුණේ තවලම් අපි යනවා කියන ගීතයෙන්.
ඒ ගීතය තුලින් තමයි මුලු රටම මාව හඳුනාගත්තේ.
ඊට පස්සේ අම්මා ජීවන උයන් තෙරේ, යෙහෙළියක සේ, ටික කලක සිටන්, කෙලෙසක කීවත්, හා මල් මල් විලේ වගේ ගීත රාශියක් ජනප්‍රියත්වයට පත්වුණා.
ඔබ නව යුගයටත් ඔබින ගීත ගායනා කරනවා නේද..?
ඔව්..මේ වෙනස් වෙන යුගයටත් මම ගීත ගායනා කළා.
ඒ කියන්නේ දැන් ඉන් මේ තරුණ තරුණියන්ට ගැලපෙන ආකාරයේ ගීතත් ඒ කාලයේ තරුණ තරුණියන්ට ගැලපෙන ගීතත් මම ගායනා කළා.
ඒ වගේම ඉදිරියටත් මේ වගේ කටයුතු කරගෙන යනවා.
ඇයි ඔබ එහෙම වෙනස් වුණේ..?
මෙහෙමයි මම කැමති නැහැ එක තැන පල්වෙන්න.
ඒ වෙනසට මොනවගේ ප්‍රතිචාරද ඔබට ලැබුණේ..?
මම චුට්ටක් අදිමදි කළා ඒ විදිහට මුලින්ම ගීත ගායනා කරන්න වගේම නිර්මාණ කරන්නත්.
නමුත් ඊට පස්සේ මම කල්පනා කළා මගේ ජනප්‍රියත්වය මම රැකගන්න ඕනේ කියලා.
මම තරුණ තරුණියො එක්ක ගැටිලා ඔය ගීත ගායනා කළා.
ඒ වෙනසට චෝදනා තිබුණෙම නැද්ද..?
චෝදනා තිබුණේ බොහොම අල්පයක්.
දෙන්නෙක් තුන්දෙනෙක් ඇරුණුකොට වෙන කිසි දොසක් කිව්වේ නැහැ.
ගීත ජනප්‍රිය කරන්න සල්ලි විසි කරන්න ඕනේ කියලා කතා ඇහෙන කාලේ ඔබත් ගීත ජනප්‍රිය කරන්න සල්ලි විසි කරනවද..?
මෙහෙමයි. මගේ ගීත මම සල්ලි දීලා ප්‍රචාරය කළේ නැහැ.
හැමෝමත් එක්කම සුහදයි මම.
අනෙක ගුවන් විදුලිය, රූපවාහිනිය හෝ රජයේ මාධ්‍ය ආයතන හෝ වේවා කලාකරුවෙකුට ඒ නිසි තැන දෙන්න ඕනේ.