අද (26) උදෑසන 9:20 ට පමණ නාවුල නාලන්ද ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මේ අනතුර සිදුවන අවස්ථාවේ එම මාර්ගයේම මහනුවර දෙස සිට කොළඹ බලා ගමන් කරමින් සිට ඇත්තේ කතානායකවරයායි. අනතුර දුටු සැණින් තම රථය නතර කර ඇති කතානායකවරයා, වහාම ක්‍රියාත්මක වී තුවාලකරුවන් බස් රථ තුළින් ඉවතට ගෙන රෝහල් ගත කිරීමට පෞද්ගලිකවම සහාය වී ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.
අනතුරින් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් නාලන්ද ප්‍රාදේශීය රෝහලට සහ මාතලේ රෝහලට ඇතුළත් කර තිබෙනවා. තුවාල ලැබූවන් අතර එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.
මේ අතර, අනතුරට සම්බන්ධ පෞද්ගලික බස් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති නමුත්, ලංගම බස් රථයේ රියදුරු අනතුරින් පසු ප්‍රදේශයෙන් පලාගොස් තිබෙනවා.
පොලිසිය සැක කරන්නේ අධික වේගය හෝ නොසැලකිලිමත් ලෙස රිය පැදවීම මෙම අනතුරට හේතු වන්නට ඇති බවයි. නාවුල පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.