මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා සූදානමින් සිටි සිසුවියක් ඇගේ ජංගම දුරකතනය චාර්ජ් කර ගැනීම සඳහා විදුලියට සම්බන්ධ කර තිබියදී ඊයේ (06) රාත්‍රී ඇතිවූ ගින්නකින් ඇගේ නිවෙස ගින්නට හසුව ඇතැයි සිගිරිය පොලිසිය පවසනවා.
මෙම ගින්නෙන් සිසුවියගේ පොත්පත්, ඇඳුම් පැළඳුම් සියල්ල ගිනිගෙන විනාශ වී ඇතැයි ද පොලිසිය සඳහන් කරනවා.
මෙලෙස ගින්නට හසුව ඇත්තේ සීගිරිය ගලකොටුව ප්‍රදේශයේ පදිංචි චලනී කවිෂා සිතුමිණි දියණියගේ නිවෙසයි. ඇය දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ අ.පො.ස. උසස්පෙළ වානිජ අංශයෙන් උසස් පෙළ සඳහා අධ්‍යාපනය ලබමින් සිටින බවද පොලිසිය පවසනවා.
ඊයේ රාත්‍රී 10 ට පමණ එකවරම මෙම නිවෙසේ ගින්නක් හට ගෙන ඇතැයි නිවැසියන් පවසනවා. එහිදී ප්‍රදේශවාසීන්, පොලිසිය, දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය එක්ව ගින්න මැඩ පැවැත්වුවද මෙම දියණියගේ අධ්‍යාපන පොත්පත් ඇඳුම් පැළඳුම් සියල්ල අළු බවට පත්ව නිවසටද ගින්නෙන් විශාල හානි සිදුවී තිබිණා.
ගින්න ඇතිවන අවස්ථාවේදී සිසුවිය සහ ඇගේ මව අසල නිවෙසකට ගොස් සිට ඇති අතර, නිවෙසේ විදුලිය නොමැති අවස්ථාවේදී ජංගම දුරකතනය හා ලැප්ටොප් පරිගණකය විදුලි ආරෝපණය සඳහා විදුලියට සම්බන්ධ කර ඔවුන් දෙදෙනා නිවෙසින් පිටව ගොස් ඇති බවයි වාර්තා වී ඇත්තේ.
පැය කිහිපයක් ඔවුන් දෙදෙනා නිවෙසට එද්දී එක්වරම මෙම ගින්න හටගෙන තමන්ගේ සියල්ල විනාශ වූ බව සිසුවිය සඳහන් කළා.
සීගිරිය පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වමින් දැනට සිදුකරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ජංගම දුරකථනයේ විදුලි ආරෝපණය කිරීම අවස්ථාවේදී විදුලි කාන්දුවක් ඇතිවී මෙම ගින්න හටගන්නට ඇති බවට සැක කරන බවයි.