ඔබේ සැලසුම් සූදානම් කරගන්නත් මේ කියන කාරණා ඇත්තටම ඔබට වැදගත් වේවි.
2025 වසර ජනතාවට සියලු අතින් පීඩාකාරී වසරක් වෙමින් විවිධ තාඩන පීඩන, ගංවතුර, නායයෑම් ආර්ථික ප්‍රශ්න, ජීවන වියදම් ප්‍රශ්න ආදී මෙකී නොකී මහත් කරදරකාරී කඳුළු පිරුණු වසරක් ලෙස ගෙවී යයි. පසුගිය වසර දෙස ආපසු හැරී බැලීමට තරම්වත් සිත් නොදෙන වසරක් ලෙස මෙය අපට කෙටියෙන් හඳුන්වාදිය හැක. මහත් බලාපොරොත්තු ඇතිව තම තමන්ගේ සුඛ විවරණය පිණිස මහජනතාව අනාගතය දෙස දෑස් දල්වාගෙන සිටී. එම සියලු අපේක්ෂාවන් ඉටු වීම පිණිස ප්‍රාර්ථනා පෙරදැරිව නව වසරට පිවිසෙන ඔබට 2026 වසර පිළිබඳ ජ්‍යොතිෂය තුළින් සහනයක් වේදැයි අපි බලමු. 2025 ගෙවී යන්නේ බදාදා දිනයකය. 2026 බ්‍රහස්පතින්දා දිනක් ලෙසින් රාත්‍රී 12.00 ට රවි හෝරාව පවතින අතර එම අවස්ථාවේ තත්කාල ලග්නය වශයෙන් කන්‍යා ලග්නයත්, වෘෂභ නවාංශකයත් උදාව පවතිී.
මෙහිදී සඳු ග්‍රහයා සඳුට අයත් රෙහෙන නැකතේ ගමන් ගෙන තිබුණි. තත්කාල කේන්ද්‍රයේ 12 අධිපති රවි ග්‍රහයා 22 වන දෙර්කානාධිපතිට අයත්ව ගමන් කිරීම මත එළැඹෙන වසර රජයට බාධක, අභියෝගවලට මුහුණ දීමට සිදු වන බව පෙනේ. කුම්භ ලග්න ලංකා කේන්ද්‍ර සටහන අනුව 2035 වන තුරුම රාහු දසාව පවතී. රාහු පාපග්‍රහයකු නිසා මිනිස් සිත් සතන් තුළ රජය කෙරෙහි පවතින පාපකාරී සිතුවිලි තවදුරටත් පැවතිය හැකි වේ. ජනතා සහන වෙනුවට බදු බර ලැබේ.
විරුද්ධ පක්ෂ බලවත් වන බවක් ද පෙනේ. 2026 වසර දේශගුණික විපත් බහුලව ඇති කරයි. ලබන වසර තුළ කිසිසේත්ම මැතිවරණයක් නොපවත්වයි. දුකට අධිපති ශනි මේ මොහොත වනවිට විවෘතව ගමන් කිරීම හේතු කොට ගෙන දූෂිත චෝදනාවලට ලක් වූ චරිත ගණනාවකට නීතියෙන් දඬුවම් ලැබිය හැකි වසරකි. 2026 ජූලි 27 සිට දෙසැම්බර් 11 තෙක් ශනි ග්‍රහයා වක්‍ර චලිතයේ ගමන් කිරීම හේතුවෙන් කම්කරුවන්ට, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයට යහපත් නොමැති අතර බොහෝවිට ජනතා නැඟී සිටීමක් මෙන්ම උද්ඝෝෂණ තත්ත්ව පවා ඇති වීමට ඉඩ තිබේ.
ගුරු ග්‍රහයා වක්‍රව ගමන් කිරීම රටේ ආදායම් තත්ත්ව යහපත් යැයි සිතිය නොහැක. ලබන වසර තුළ ග්‍රහ යුද්ධ 15ක් සහ ග්‍රහන 4ක් ඇති විය හැකි අතර මෙහිදී මාර්තු 03 පූර්ණ චන්ද්‍රග්‍රහණය සහ අගෝස්තු 12 පූර්ණ සූර්යග්‍රහණය අප රටට තදින් බලපෑම් ඇති කරනු ලබයි. එම කාලය තුළ ස්වාභාවික විපත් ප්‍රබලව ඇති කරයි. ගංවතුර, නායයෑම් වැනි ආපදා තත්ත්ව, කුණාටු තත්ත්ව පවා ඇති වීමට ඉඩ පවතී. 2026 ජුනි 02 ගුරු කටක රාශියට යෑම ඉතාමත් යහපත් වේ. තත්කාල කේන්ද්‍රය තුළ රාජ්‍ය කාරක රවි 22 වන දෙර්කානාධිපතිට අයත්ව ගමන් කිරීම මත රජයේ ඉහළ පෙළේ නිලධාරීන්ට අසුබතා ඇති කරයි.
ජනවාරි 16 සිට දින 39 ක් සෙන්පති කුජ තමාගේ උච්ච බවනය වන මකරයට යෑම ආරක්ෂක අංශයන්නහි කීර්තිනාමය වැඩි වන දින කිහිපයක් ද වේ. එමෙන්ම ප්‍රබල ආයුධ සන්නද්ධ ක්‍රියාකාරකයන් නීතියට හසු වන බවක්ද වේ.
රජය නියෝජනය කරන අධිපති ග්‍රහයා වෙමින් දොළොස්වැන්නට යෑම තුළ රජයේ කීර්තිනාමයට හානි වන පුවත් අසන්නට ලැබේ. මාර්තු සහ අගෝස්තු අතර කාලයේ වගාවලට ගැටලු ඇති කරයි. එය ස්වාභාවික විපත් හේතු කොටගෙන වන්නට ඉඩ තිබේ. (ජල ගැලීම්) ඇති කරයි. අගෝස්තු මැද තෙක් කාලගුණික විපත් කඳු කඩා වැටීම්, නායයෑම් ප්‍රබලව ඇති කරයි. එම නිසා ඔබ ප්‍රවේශම් වීම වැදගත් වේ.
විශේෂයෙන් 2026 ලබන වසර ඇමරිකාව, චීනය, ඉන්දියාව වැනි ලෝක බලවතුන්ට විශාල ගැටලුවලට මුහුණපෑමට සිදු වන බව පෙනේ.
ජනවාරි 18 සිට පෙබරවාරි 3 දක්වා ලොව පුරා පරිගණක ආශ්‍රිත ගැටලු, වෛරස් ඇති වීමට බොහෝ වැඩිය. ජනවාරි 16 සිට පෙබරවාරි 23 අතර කාලය අතිශයින් පරිස්සම් විය යුතු කාලයකි. සිත් කම්පා කරවන සිදුවීම්, මාරක අනතුරු, සිය දිවි නසා ගැනීම්, සාහසික ක්‍රියා ඇති විය හැකි බැවින් එම කාලය තුළ සැලකිලිමත්ව කටයුතු කරන්න.
ලෝකායන ජ්‍යොතිෂය ලෙස බැලීමේදී රට රටවල්වල පවතින යුදමය තත්ත්වය ජුනි මාසයෙන් පසු සමතයකට වන බව පෙන්නුම් කරයි. මෙරටට ආයෝජන ලැබුණ ද ඒවායේ කළමනාකරණයේ දුර්වලතා පෙන්නුම් කරයි. එබැවින් ඔබ පංචශීල ප්‍රතිපදාවේ යෙදෙමින් කටයුතු කරමින් ජීවිතය දුකයි යන අනිත්‍ය සිතුවිලි ඇති කරගමින් කටයුතු කිරීම බාධක දුරු කරගැනීමට හේතු වනු ඇත.
එසේම 2026 වර්ෂයේ සුබ කටයුතු සඳහා සුබ නැකැත් යෙදෙන දිනයන් ගැනත් දැනුවත් වෙන එක ඔබට වැදගත් වේවි.. ඉරිදා හත නැකත ද, සඳුදා සුවණ නැකත ද, අඟහරුවාදා අස්විද නැකැත ද, බදාදා අනුර නැකත ද, බ්‍රහස්පතින්දා පුෂ නැකත ද, සිකුරාදා රේවතී නැකත ද , සෙනසුරාදා රෙහෙණ නැකත ද යෙදී ඇතිවිට කේවල සිද්ධි යෝගය නම් ඉතා උතුම් බලවත් යෝගය යෙදෙන බවයි.
මෙම යෝගය යෙදී ඇති විටෙක අව, මර ආදී පංචාංග ශුද්ධිය නොමැති වුවද, අඟහරුවාදා, සෙනසුරාදා වැනි දිනයක් වුවද සුබ කටයුතු සඳහා යොදා ගතහැකිය. මෙය කෝටියක් දෝෂ භංග කරන යෝගයකි.
විවාහ මංගල කටයුතු, නිවාස ඉදිකිරීම් වැනි කටයුතු සඳහා මෙම යෝගය වඩාත් සුබදායකය. එබැවින් ඔබගේ මෙම වර්ෂයේ එබඳු සුබ කටයුතු සැලසුම්කර ගැනීම සඳහා පහත දිනයන් යොදා ගත හැකිය. සෑම සුබ කටයුත්තකටම ද මෙම දිනයන් වඩාත් ප්‍රශස්ත වන අතර මෙම දිනයන් තම කාර්යයට අදාළ පරිදි යොදා ගැනීමට ජ්‍යොතිෂමය උපදෙස් ලබාගැනීම සුදුසුය.
ජනවාරි 14 බදාදා මුළු දවසම
ජනවාරි 19 සඳුදා පෙරවරු 11.51 සිට
පෙබරවාරි 11 බදාදා පෙරවරු 10.53 දක්වා
මාර්තු 20 සිකුරාදා මුළු දවසම
අප්‍රේල් 17 සිකුරාදා දහවල් 12.01 දක්වා
මැයි 21 බ්‍රහස්පතින්දා මුළු දවසම
ජූනි 18 බ්‍රහස්පතින්දා පෙරවරු 11.38 දක්වා
ජූලි 11 සෙනසුරාදා පෙරවරු 11.03 සිට
අගෝස්තු 08 සෙනසුරාදා පස්වරු 4.50 දක්වා
අගෝස්තු 16 ඉරිදා මුළු දවසම
සැප්තැම්බර් 01 අඟහරුවාදා මුළු දවසම
සැප්තැම්බර් 13 ඉරිදා දහවල් 1.12 දක්වා
ඔක්තෝබර් 14 බදාදා මුළු දවසම
නොවැම්බර් 11 පෙරවරු 11. 41 දක්වා
නොවැම්බර් 16 සඳුදා දවස පුරාම
දෙසැම්බර් 14 සඳුදා පෙරවරු 9.12 දක්වා
දිවයින පුවත්පත ඇසුරෙන්..