මරුවාට වෙලාවක් කලාවක්, තැනක් නොතැනක් ඇත්තේම නැත. කවුරුන් හෝ තම රැහැණට හසු ගර ගන්න තුරු මරයාට ඉවසුම් නැති හැඩකි. ලොකු පොඩි, බාල මහළු දුප්පත් පොහොසත් කියා භේදයක් නැතිවම මරුවා ළඟා වෙන්නේ කිසිවෙකුටත් කල්තියා දැනුම් දීමකින් තොරවය.
"අනේ මට හිටිය රත්තරන් පුතා. කවද හරි හමුදාවට බැදෙනවා කියලා තමයි කිය කියා හිටියේ. කැඩෙට් ඇඳුමටත් පුතා හරි හැඩයි. හමුදාවේ ලොක්කෙක් වෙනවා දකින්නයි මමත් බල බලා හිටියේ. අපිට පිරිමි දරුවෙක් කියලා හිටියේ ඔච්චරයි දෙයියනේ. ඒත් අද හැමෝටම හොරෙන් මේ ගෙදර පහන නිවිලම ගියා" යැයි කියමින් නිමල්කා හඬා වැළපුණා.
මේ කතාවේ කතානායකයා 17 හැවිරිදි වියේ පසුවූ ලෝචන ලුක්ෂාන්.
මරුවා ලෝචන වෙත ළඟා වූයේ මහා හිත්පිත් නැති අමනුස්සයකු ලෙසින්.
ඒ, ඔහු ගමන් කළ යතුරුපැදිය බස් රථයක ගැටීමෙන් සිදුවූ බරපතල රිය අනතුරක් ලෙසින්. මෙම අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදී ලෝචන සියලු දෙනාගෙන්ම සමුගෙන මෙලොවින් නික්ම ගියා.
බණ්ඩාරගම, යටියන ප්‍රදේශයේ පදිංචි මෙත්සිරි පුෂ්පකුමාර ( 52) මහතාටත් නිමල්කා සොයිසා (50) මහත්මියටත් සිටි එකම පිරිමි දරුවා වූයේ ලෝචනයි.
පාසල් ගමනින් පසුව රැකියාවක නියැලෙන 19 හැවිරිදි සඳුනි පබසරා ලෝචන ගේ එකම වැඩිමහල් සහෝදරියයි.
බණ්ඩාරගම ජාතික පාසලේ 12 වසර කලා අංශයෙන් අධ්‍යාපනය හදාරන ලෝචන නැටුම්, නාට්‍ය හා මීඩියා යන විෂයන් තෝරාගෙන ඇති අතර විද්‍යාලීය ශිෂ්‍යභට කණ්ඩායමේ කෝප්‍රල්වරයෙකු ලෙසද කටයුතු කරන්නේ විවිධ ඉසව් ඔස්සේ ඔහු තුළ පැවති දක්ෂතා පිළිබිඹු කරමින්.
විෂය බාහිර ක්‍රියාකාරකම්වලට ඔහු තුළ ඇත්තේ කිසිවකුටත් නොදෙවෙනි හැකියාවක්. යටියන ගමේ කවුරුත් ඔහු හඳුනන්නේ උඩරට නර්තනයට අපූරු හැකියාවක් ඇති දරුවෙක් ලෙසයි.
ඒ ඔහු පසුගිය වසර තුනකම සමස්ත ලංකා පාසල් අන්තර් තරගාවලියෙන් හා කලායතන තරගාවලින් උඩරට නර්තනයෙන් දක්ෂතා දක්වා ඇති බැවින්.
එහෙත් ඔහු වැඩියම ඇලුම් කලේ ජාතික ශිෂ්‍ය භට බලකායටයි.
ලෝචන පිළිබඳ ඥාති සහෝදරයකු වන ලසිදු නවීන් පැවසුවේ මෙවැන්නක්.
“ලෝචන මගේ මහප්පගේ පුතා. අපි දෙන්නම එක වයසේ. එක වසරෙ ඉඳලම අපි ගියේ බණ්ඩාරගම ජාතික පාසලට. එකටමයි යන්න එන්නේ. හැමදේම කරන්නේ අපි දෙන්නා එකටමයි. ඉගෙන ගන්නෙත් එකම පන්තියෙයි. එයයි මමයි දෙන්නම නැටුම්, කැඩෙට් දෙකම කරනවා. ලෝචන අයියා නැටුම් ඉගෙන ගත්තේ අට වසරේ ඉඳලයි.
මේ දවස්වල අපට නිවාඩු. ඒ උනාට කැඩෙට් පුහුණුව තියෙනවා. මේක උන දවසේ උදේ පාන්දර අපි දෙන්නා ඉස්කෝලෙ ගියා කැඩෙට් පුහුණු වෙන්න. අපි යන්නේ එන්නේ බස් එකේ එකට.
“උයන්වත්තෙ වැවේ වැස්සට වතුර පිරිලා ඇති. වතුර බලන්න ආසයි කියලා අයියා කිව්වා.”
“පුහුණුව ඉවරවෙලා ගෙදර එන ගමන් ලෝචන අයියා කිව්වා කොතලාවල, උයන්වත්තෙ වැවේ වැස්සට වතුර පිරිලා ඇති. වතුර බලන්න ආසයි කියල. ඒත් මං කැමති වුණේ නෑ යන්න. එයාගෙ පෙරැත්තෙට පස්සේ අපි දෙන්නත් එක්ක මෝටර් බයිසිකල් දෙකේ කොතලාවල උයන්වත්තේ වැව ළඟට ගියා. එතන වැඩි වෙලා හිටියේ නෑ. මං ඉක්මනට එයාවත් එක්ක ගෙන ගෙදර එන්න ආවා. මං ආවේ ලෝචන අයියට පිටිපස්සෙන්. එයා ආවෙ ටිකක් හයියෙන්. මං ඒත් කෑගැහුවා හෙමින් යන්න කියලා. වැව ඉඳලා හරස් පාරෙන් ඇවිත් කොතලාවල හන්දියෙන් පාණදුර හොරණ ප්‍රධාන පාරට දාන්න එනකොට තමයි එයාව බස් එකේ වැදුණේ.”
“මං කවදාවත් හිතුවේ නෑ. අයියට මෙහෙම දෙයක් වෙයි කියලා. එහෙම දැනුණ නම් මං කවදාවත් එයාට මේ ගමන යන්න කීයටවත්ම ඉඩ දෙන්නෙ නෑ.”
මං කවදාවත් හිතුවේ නෑ. අයියට මෙහෙම දෙයක් වෙයි කියලා. එහෙම දැනුණ නම් මං කවදාවත් එයාට මේ ගමන යන්න කීයටවත්ම ඉඩ දෙන්නෙ නෑ. අපි දෙන්නා පාඩම් කරන්නෙ එකට. දෙන්නෙක් උනාට ඇත්තටම අපි එක්කෙනෙක් වගේ. නෑකමට වඩා එහා ගිය යාළුකමක් බැඳීමක් අපි අතර තිබුණා. මට නම් මේ දුක කොහොමටවත් දරාගෙන ඉන්න බෑ.”
සති පොළවල එළවළු වෙළඳාමේ යෙදෙන ලෝචන ගේ පියා එදින නිවෙසින් පිටත් වූයේ අලුයම 3. 45 ට පමණය. ඒ එළවළු රැගෙන ඒම සඳහාය. සුව නින්දේ පසු වූ පුතුගේ මුහුණ දෙස බලන්නේ අවසන් වරට යැයි ඒ පියා දැන සිටින්නට නැත.
හොරණ ප්‍රදේශයේ පදිංචි දිනේෂ් චමින්ද (54) ඥාති මාමා පවසා සිටියේ මෙවැන්නක්.
“ලෝචන පුතාට අම්මයි තාත්තයි කිසි අඩුවක් කරන්නේ නෑ. ඉල්ලන පරක්කුවට ඕන දෙයක් දෙනවා. රේස් පදින්න පුට් සයිකලයක් ඕනෑ කියලා ඉල්ලුවහම ඒක ගන්නත් සල්ලි දුන්නා. පුතා මාත් එක්ක මට්ටක්කුලියට ගිහිල්ලයි බයිසිකලේ ගෙනාවේ. පුතා හරි කීකරු ඉගෙන ගන්න දක්ෂ නිහතමානී දරුවෙක්. වැස්සත් එක්ක බයිසිකල් එක ලිස්සලා ගිහින් මේ දේ වෙන්න ඇති කියල මං හිතනවා.”
මිතුරන් අතර නායකත්වය ගෙන කටයුතු කළ ලෝචන හැම අවස්ථාවකම ඔවුන්ට උදව් උපකාර කරමින් තමන් දන්නා පාඩම් ඔවුන්ට කියාදෙමින් කටයුතු කර ඇත්තේ ඔහු තුළ පැවති යහපත් චේතනා හා මානුෂීය ගති පැවතුම් නිසා විය යුතුය.
බණ්ඩාරගම ජාතික පාසලේ නාමය අනාගතයේ බැබලවීමට පෙරුම් පිරූ තරුවක් වසර දාහතක් වැනි කෙටි කාලයකින් මේ ලෙස නිවී යෑම ඔහුගේ දෙමාපියන් සහෝදරියට ඥාතීන්ට මෙන්ම මුළු යටියන ගම්මානයටම ගෙනාවේ විශාල පාඩුවකි. ඊටත් වඩා වේදනාවකි. ආදර පුතණුවනි ඔබ නිවන් සැනැහේවා!