වැඩිහිටි ප්‍රජාව තුළ බහුලව දැකිය හැකි වුව ද මව්කුස තුළ වැඩෙන කුඩා බිළිඳාගේ පටන් ඕනෑම වයස් කාණ්ඩයක දරුවකුට " ආඝාතය " රෝග තත්වය ඇතිවිය හැකියි.. මොළයේ කොටසකට රුධිර සැපයුම අඩාල වීම නිසා දීර්ඝකාලීනව ඇතිවන ස්නායු ආබාධය ආඝාතය ( Stroke ) ලෙස හඳුන්වනවා.. දරුවකුගේ ආඝාත තත්වයට හේතුවන සාධක වැඩිහිටියන් ගේ ආඝාතයට හේතුවන සාධක වලින් වෙනස් .... වසරකට දරුවන් ලක්ෂයක් අතරින් පස් දෙනෙකු ආඝාත තත්වයට ගොදුරු වන බව නවතම සංඛ්‍යා ලේඛණ පෙන්වා දී තිබෙනවා ...
ආඝාතය ඇතිවිය හැකි ආකාර 02 ක් තිබෙනවා ...
01. මොළයට රුධිරය සපයන රුධිර නාල වල ලේ කැටියක් හිරවීම. ( Ischaemic Stroke )
02. මොළයට රුධිරය සපයන රුධිර වාහිනී පුපුරා යාම. (Haemorrhagic Stroke )
ආඝාතයට ගොදුරු වන වැඩිහිටියන්ගෙන් 70% - 80% ක් රුධිර වාහිනී වල ලේ කැටියක් හිර වීම නිසාත්, 20% - 30% ක් පමණ මොළයේ රුධිර වාහිනියක් පුපුරායාම නිසාත් මේ රෝග තත්වයට ගොදුරු වෙනවා නමුත් දරුවන් අතර දැකිය හැකි ආඝාතයට මේ තත්ව දෙකම සමානව දායක විය හැකියි
වැඩිහිටියන්ගේ ආඝාත තත්වයට වැඩිපුර හේතු වන්නේ දියවැඩියාව, අධි රුධිර පීඩනය, රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩිවීම ආදියයි.. නමුත් දරුවන්ට ආඝාතය ඇති වීමට බලපාන කරුණු මෙයට බොහෝ වෙනස් වෙනවා .
මොළය අභ්‍යන්තරයේ ඇති රුධිර වාහිනී බිත්ති ආශ්‍රිතව ( මොළය තුළම ) හටගන්නා රුධිර කැටියක් මඟින් රුධිර වාහිනී අවහිර වීම ( Thrombosis ),මොළයෙන් පිටත සිරුරේ වෙනත් ස්ථානයක හටගන්නා ලේ කැටියක් මොළයට ගමන් කොට එහි රුධිර නාල අවහිර කිරීම ( Embolism ). මොළයේ රුධිර වාහිනී තුළ ලේ කැටියක් සිරවිය හැකි ආකාරය යි
රුධිර කැටියක් සිරවීම මඟින් ඇතිවන ආඝාත තත්වය හට ගැනීමේ අවදානම් සාධකය වන්නේ හෘද රෝග, රුධිරය ආශ්‍රිත රෝග ආසාදන, රුධිර වාහිනී ආශ්‍රිත රෝගයි.. මොළයේ ලේ කැටියක් හිරවීම නිසා ඇතිවන ආඝාත තත්ව අතරින් 25% කට ආසන්න ප්‍රතිශතයක් හෘද රෝග නිසා ඇති වෙනවා . හදවතේ සිදුරු පැවතීම, හෘද කපාට වල ආබාධ, හෘදයේ ධමනි හා ශිරා මාරුවී පිහිටීම වැනි උපතේ සිට පවතින හෘද රෝග හෝ උපතින් පසු හෘදයේ ඇතිවන රෝග තත්ව ( රූමටික උණ නිසා ඇතිවන හෘද රෝග, හෘදය තුළ ඇතිවන බැක්ටීරියා ආසාදන, රුධිර වාහිනී බිත්ති වල ඇතිවන වෙනස්කම් ) විය හැකියි. මෙම ආඝාත තත්ව හදවත් සැත්කම් සිදුකෙරෙන අතරතුර ද ඇතිවිය හැකියි. මෙවැනි දරුවන්ගෙන් බොහෝමයකට හෘද රෝග ඇතිබව කල්තියා හඳුනාගත්ත ද, ඉතා සුළු ප්‍රමාණයක හෘද රෝග හඳුනාගන්නේ දරුවාට ආඝාත තත්වයන් ඇතිවීමෙන් පසුවයි..
පැපොල වැනි ඇතැම් වෛරස් ආසාදන වලින් පසු මොළයේ ඇති රුධිර නාල අවහිර විය හැකියි.. බැක්ටීරියා සහ විශේෂයෙන් ක්ෂය රෝග බැක්ටීරියාව මඟින් ඇතිකරන මෙනින්ජි ප්‍රදාහය, මස්තිෂ්ක ප්‍රදාහය, ලේ වලට විෂබීජ ඇතුල් වීම, මොළය තුළ ඇතිවන සැරව ගෙඩි ආදිය හේතු වෙනවා..
රුධිර වාහිනී ආශ්‍රිත රෝග තත්ව වැඩිහිටියන් ගේ ආඝාත තත්ව වලදී සුලබ වුව ද එය ඇතැම්විට දරුවන්ගේ ද දැකිය හැකියි. මේ සඳහා උදාහරණ ලෙස රුධිර වාහිනී බිත්ති වල ඇතුළත ස්ථරය පුපුරා යාම, රුධිර වාහිනී බිත්තිවල ඇතිවන ප්‍රදාහය ( Vasculitis ) දැක්විය හැකියි. රුධිර වාහිනී ප්‍රදාහයේ දී එම බිත්ති වල වෙනස්කම් සිදු වෙනවා. මෙය මොළය තුළ රුධිර වාහිනී වල ඇතිවන තත්වයක් හෝ සිරුරේ වෙනත් ස්ථානයක ඇති වී අනතුරුව මොළයේ ඇතිවන තත්වයක් විය හැකියි.
රුධිර වාහිනී ආවරණය කරමින් ඇති ඇතුළත ස්තරය පුපුරා යාම ( Arterial dissection ) නිසා රුධිර වාහිනී බිත්ති වල ඇති ස්තර අතර ලේ සිරවීම සිදු වෙනවා... මෙමඟින් රුධිර වාහිනීවල සිට මොළයට ලේ බැසීම හෝ රුධිර වාහිනී අවහිර කරමින් ලේ කැටි ඇති වීම සිදුවිය හැකියි... ගෙල ප්‍රදේශයට සිදුවන හදිසි අනතුරු නිසා ඒ ආශ්‍රිත රුධිර වාහිනී වලට හානි සිදු වීමෙන් රුධිර වාහිනී අවහිර වීම සිදු වෙනවා...
මොළයේ සිට හදවත වෙතට අපිරිසිදු රුධිරය ගෙන යන කෝඨරක වැනි ව්‍යූහයන් මොළය තුළ පිහිටා තිබෙනවා විවිධ ආසාදන තත්ව, විජලනය වීම හෝ රුධිර කැටි ගැසීමේ රෝග තත්ව නිසා මෙවැනි කෝඨරක තුළ ලේ කැටි ඇති වීමට ඉඩ ඇති අතර , ( Vempis thrombosis ) මෙම තත්වය ළදරුවන් ගේ සහ සමහර හදවත් රෝග ඇති දරුවන් තුළ මෙන්ම වකුගඩු රෝග ආශ්‍රිතව ද බහුලව දැකිය හැකියි
ආඝාත තත්වයෙන් පෙළෙන දරුවන්ගෙන් 30% - 50% ත් අතර ප්‍රමාණයකට හේතුවන්නේ ධමනි හා ශිරා අසාමාන්‍ය ලෙස එකිනෙකට සම්බන්ධ වීමයි. ( arteriovenous malformation ) මොළය තුළ මෙම තත්වය ඇති වූ විට, අධික පීඩනයකට ඔරොත්තු දෙන ධමනි වල සිට තුනී බිත්ති සමඟින් අඩු පීඩනයකට හැඩ ගැසුණු ශිරා තුළට රුධිරය එක එල්ලේ ගලායයි. එහි ප්‍රතිඵලය වන්නේ පීඩනය දරාගත නොහැකිව රුධිර වාහිනී පිපිරී යාමයි.
මීට අමතරව ධමනි බිත්ති වල ඇතැම් ස්ථාන අසාමාන්‍ය ලෙස තුනී වීම නිසා පැසක් වැනි ව්‍යූහයක් සාදමින් එම ධමනි පිටතට නෙරා යා හැකියි. ( aneurysm ) මෙවැනි ස්ථාන හදිසියේ පිපිරී යාමෙන් මොළය තුළට රුධිරය කාන්දු වීම සිදු වෙනවා.
ඇතැම් විට මොළයේ ඇති රුධිර වාහිනී අසාමාන්‍ය ලෙස තුනී වීමත් විශාල වීමත් නිසා කුඩා මිදි පොකුරක් ( Cavernoma ) ලෙස දිස් වෙනවා . මෙවැනි රුධිර වාහිනී පුපුරා යාමේ අවදානම වැඩි අතර එමඟින් ආඝාතය ඇතිවිය හැකියි.
එසේම හිසට ඇතිවන හදිසි අනතුරු ( උසකින් වැටීම, මාර්ග අනතුරු ) හිමෝෆිලියා වැනි දරුවන්ගේ ලේ කැටි ගැසීමේ ආබාධ ( Bleeding & clotting disorders ) නිසා රුධිරය වහනය වීම මඟින් ආඝාතය ඇතිවිය හැකි යි.
මේ අනුව දරුවන්ගේ ආඝාතය ඇති වීමට හේතු විවිධාකාර වන බැවින් නිවැරදි හේතුව කඩිනමින් හඳුනාගැනීමත් දරුවා නිසා ප්‍රතිකාර සඳහා හැකි ඉක්මනින් යොමු කිරීමත් ආඝාතය පාලනයට හා නැවත ඇතිවීම වළක්වා ගැනීමට බෙහෙවින් වැදගත් වෙනවා.