උදරයේ සැත්කමක් සඳහා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කෙරුණු කාන්තාවක මියයාම සම්බන්ධයෙන් සැක මතුවන බව එම කාන්තාවගේ ඥාතීන් පවසනවා.
අදාළ කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඊයේ අලුයමයි.
නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලට ඇතුළත්කර උදරයේ සැත්කමකට ලක්කිරීමෙන් අනතුරුව මෙලෙස මියගොස් ඇත්තේ, දෙල්ගොඩ, අහුගම්මන ප්‍රදේශයේ පදිංචිව සිටි ඉරේෂා ලක්මාලි නමැති 35 හැවිරිදි කාන්තාවක්.
ඇය පසුගිය 20 වැනිදා රෝහල්ගතකර තිබූ අතර ඥාතීන් පවසන්නේ, මෙම මරණය සැක සහිත බවයි.
මියගිය කාන්තාවගේ සැමියා
අපි 20 වෙනිදා ඇඩ්මිට් කළා. 21 පරීක්ෂණය කරලා ඊයේ උදේ ගත්තා සර්ජරියට අටහමාරට විතර. 10 විතර වෙනකොට අපිට කිව්වා ලෙඩාට පොඩ්ඩක් අමාරුයි, අපි අයි.සී.යූ. එකට අරන් ගියා. ටිකක් වෙලා යනකොට කිව්වා ලෙඩාගේ හාර්ට් එක පොඩ්ඩක් දැන් පහළ තත්ත්වේ තියෙන්නේ, උඩට නගින්නෑ හරි අමාරුයි කියලා. කොහොමහරි පැය තුන හතරක් මේවා කරලා මට කිව්වා තිබ්බට වැඩිය දැන් සුව තත්ත්වෙට ඇවිල්ලා තියෙනවා කියලා. ඊට පස්සේ දෙකට විතර ඇවිල්ලා කිව්වා බෑඩ් නිව්ස් ලෙඩා නැති වුණා කියලා. අන්තිමේදි වයිෆ් නැති වුණා මගේ. ඊයේ රෑ ඔය සිද්ධිය වුණාට පස්සේ ඒ ඩොක්ටර් ගියා ගෙදර. දැන් ෆෝන් වැඩකරන්නෙත් නෑ, ෆෝන් ආන්ස්වර් කරන්නෙත් නෑ. බලෙන් වගේ ඉල්ලගත්තේ කරපු රිපෝර්ට්ස් ටික. ඒගොල්ලෝ දුන්නෑ අපිට. අපිට සැකයි කියන්නේ ඩොක්ටර්ලා අතින් මොකක්හරි දෙයක් වැරදුනා තමයි මෙයාට. එච්චර ලොකු දෙයක් නෙවෙයි තිබුණේ. ගර්භාශේ ගැටිති වාගයක් තිබිලා ඒක මෙව්වා කරන්න තමයි එක්කන් ආවේ. මැරි කරලා අවුරුද්දක් විතර තමයි වුණේ. එයා බබෙක් හදන්න බලාපොරොත්තුවෙන් තමයි හිටියේ.
මියගිය කාන්තාවගේ ඥාතියෙක්
අයි.සී.යූ. එකේ මං ඔළුව දානවා දැකලා නර්ස් කෙනෙක් ඇවිල්ලා ඇහුවා ආ ඕගොල්ලෝ බලන්නද ආවේ, කිසි ප්‍රශ්නයක් නෑ බලන්න කිව්වා. මං කිව්වා අපිට ඉතිං එහෙම බලන්න බෑනේ, බලන්න හොඳ නෑනේ, නෑ නෑ නෑ කිසි ප්‍රශ්නයක් නෑ ඕගොල්ලෝ ඔක්කොම ඇවිල්ලා බලන්න කිව්වා. අයි.සී.යූ. එකට එහෙම සාමාන්‍යයෙන් අපි අහලා නෑ මිනිස්සු යනවා කියලා. රජයේ ඉස්පිරිතාලෙක නම් වෙනම ඇඳුමක් ඇඳගෙන, වෙනම සපත්තු දෙකක් දාගෙන යන්නේ. ඒවා මොකුත් නෑ සේරම අරගෙන අපි ගියා කට්ටියම බලන්න. බලනකොටම මේ ලෙඩාටනම් හොඳ නෑ, මේ ලෙඩා මැරිලා වගේ ඉන්නේ කියන එක මට තේරුණා. එකහමාරට විතර අපි එළියට ආවා. ගෙදර ගිහිල්ලා ටිකක් ඉන්නකොට මලිත් මල්ලි කතාකරලා කිව්වා අක්කා නැති වුණා කියලා. එවෙලෙම මං ආපහු හොස්පිට්ල් එකට ආවා. ඇහුවා එතකොට මේ ලෙඩා මැරුණේ කීයටද කියලා. දෙකට විතර කියලා කිව්වා. ඒගොල්ලෝ දන්නෙ නෑ මැරිච්ච වෙලාවක්වත් මොකුත් දන්නේ නෑ. අපිට තේරෙන විදිහට එදා සර්ජරිය කරනකොට අටහමාරට ගත්ත එක නමයහමාරට ලෙඩා මැරුණා. මේගොල්ලෝ කරපු දේ මේක වහන්න හින්දා තමා අපිව සංසිඳව සිඳව ලෙඩා අයි.සී.යූ. එකේ තියාගත්තේ. අයි.සී.යූ. එකේ තියාගන්නකොට අපේ බිල යනවා. තනිකරම මිනීමැරුමක් තමයි මේක. මේක සම්පූර්ණ සැකයක් තියෙනවා මේ මරණේ.
මේ සම්බන්ධයෙන් නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් අප කළ විමසීමකදී එහි බලධාරියෙකු පැවසුවේ, මියගිය කාන්තාවගේ ඥාතීන්ගේ ඉල්ලීම පරිදි පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා දේහය කොළඹ ජාතික රෝහලට යවා ඇති බවයි.
රෝහල් ප්‍රකාශකයෙක්
ඒගොල්ලන් කියනවනේ ඒගොල්ලන්ට සැක කටයුතුයි කියලා. අපි ඒකට ඒ ඔප්ෂන් එක දුන්නා. අපි ඒකට ඉන්ක්වෙස්ට් එකක් තිව්වා. දැන් පෝස්ට් මෝටම් එකක් හෙට උදේ 8ට කරනවා කියලා අපිට දැනුම්දීලා තියෙනවා. ඉතිං එතෙන්දි බලයි මොකක්ද ඇත්තටම කෝස් ඔෆ් ඩෙත් කියලා. ඒකෙන් නිල වශයෙන් අපටත් දන්වාවි මොකක්ද ඇත්තටම මරණයට හේතුව කියලා.VIDEO