බදු ප්‍රතිපත්තිය ඇතුළු ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ තුළ දැන් දැන් ඇත්තේ? රෑ දැනියල් දවල් මිගෙල් සෙල්ලම්ය.
එකී සෙල්ලම්, ඒවා සිදු වූවාට පසුව දකිනවා හැර ඒවා ගැන පූර්ව විනිශ්චය කරන්නට කොයිතරම් ආර්ථික ඔස්තාද් කෙනකුටවත් බැරිය. රටේ අය-වැය එක පැත්තකින් යද්දී තවත් පැත්තකින් ගෙනාව වැට් බද්ද වැඩි කිරීමේ සෙල්ලම එවැනි එකකි. දුකට කරුණ නම් මෙකී සෙල්ලම් හාස්‍යයෙන් නොව ඛේදයකින් කෙළවර වීමයි.
ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන පරිදි, 2023 වසරේදී අපේක්ෂිත ආදායමට අනුව, හතර දෙනකුගෙන් යුතු පවුලක් වැට් බද්ද ලෙස මාසයකට රුපියල් 9940.00ක මුදලක් රජයට ගෙවීය. මේ යෝජනා අනුව 2024 වසර තුළ එක් පවුලක් මසකදී ගෙවිය යුතු වැට් බද්ද රුපියල් 20500.00ක් දක්වා වර්ධනය වේ.
ලංකාව තුළ සිටින පවුල් ඒකක ගණන මිලියන 5.8ක් පමණය. පවත්නා වැට් බද්ද මේ අයුරින් සංශෝධනය කිරීමෙන් ලබාගැනීමට රජය අපේක්ෂා කරන මුදල බිලියන 876කි.
2024 ජනවාරියේ සිට ක්‍රියාත්මක වීමට නියමිත යෝජනාවලට අනුව මූලික වශයෙන් වැට් බද්ද සංශෝධනය වන ආකාර තුනකි. ඉන් පළමුවැන්න වන්නේ, දැනට පවතින 15%ක් වන වැට් බද්ද 18%ක් දක්වා වර්ධනය කිරීමයි.
අනෙක් කරුණ නම්, වැට් බද්දට යටත් කළ භාණ්ඩ හා සේවා සපයන සමාගම්වල වාර්ෂික විකිණුම් ආදායම මිලියන 80 සිට මිලියන 60 දක්වා පහළ හෙළීමයි. තුන්වැනි සංශෝධනය වන්නේ, වැට් බද්දෙන් නිදහස් කර තිබුණු භාණ්ඩ ලේඛනයේ භාණ්ඩ හා සේවාවන් බහුතරයකට අලුතින්ම වැට් බද්ද පැනවීමයි.
එකතු කළ අගය මත බදු (value-added tax) හෙවත් වැට් බද්ද වනාහි වක්‍ර බද්දකි. එය අය කරන්නේ යට කී ආකාරයේ ඉහළ වාර්ෂික විකුණුම් අදායමක් ඇති සමාගම්වලිනි. එසේ නමුත් එම සමාගම් යනු, තමන් විසින් බදු ගෙවන ආයතන නොවේ. සැබැවින්ම ඒවා හ¾දුන්වන්නේ වැට් බදු එකතු කරන්නන් විදිහටය. මන්දයත් ඔවුන් රජයට ගෙවන බදු මුදල තම භාණ්ඩ හා සේවාවන්වලට එකතු කර පාරිභෝගික ජනතාවගෙන් අය කරන නිසාය.
බදු අය නොකර රටක් පවත්වාගෙන යා නොහැකි බව ඇත්තය. නමුත් පාලකයා බදු අය කළ යුත්තේ මල නොතළා මල් පැණි බොන බඹරකු සේය. රටේ දුප්පත් පුරවැසියා මත බදු පැටවීමට විනා බදු ගෙවිය යුතු සැබෑ ව්‍යාපාරිකයන්ගෙන් බදු අයකිරීම කවරදාවත් මේ රටේ ආණ්ඩුවලට නිවැරැදි වැඩපිළිවෙළක් තිබී නැත. එනමුදු විවිධ චක්‍රලේඛ ගසා කූට අයුරින් තම හිතවතුන්ට බදුවලින් නිදහස් කිරීමට හෝ ඔවුන්ගෙන් රජයට අයවිය යුතු බදු මුදල් බොහෝ දුරට අඩු කිරීම නම් මේ අයට ගණදෙවි නුවණ ඇත. පහුගිය කාලයේ සාකච්ඡාවට බ¾දුන් වුණු කුප්‍රකට සීනි ගනුදෙනුව එවැන්නකට එක උදාහරණයක් පමණය.
2024 වැට් බදු යෝජනා අතර, දෙවැනි යෝජනාවේ නම්, බැලූ බැල්මට පෙනෙන කිසියම් ධනාත්මක ස්වරූපයක් තිබේ. එනම් සමාගමක විකුණුම් ආදායම රුපියල් මිලියන 80 සිට මිලියන 60 දක්වා පහත හෙළා තිබීමයි. මන්ද, ඒ මඟින් විශාල ආයතන රාශියක් බද්දට යටත් කරගත හැකිවන නිසාය. එසේ නමුත්, ජනතාව කෙරේ සැබැවින්ම සංවේදී රජයක් නම් කළ යුත්තේ මේ සීමාව තවත් දුරට අඩු කරමින් බොහෝ ආයතන සංඛ්‍යාවක් බදු එකතු කරන ගොඩට ගන්නා අතරතුර ජනතාව ගෙවිය යුතු බදු ප්‍රතිශතය පහත හෙළීම නොවේද?
ලංකාවේ වැට් බද්ද මතුපිටින් 15%ක් හෝ 18% වැනි නිශ්චිත ඉලක්කම්වලින් පෙනී යා හැකිය. නමුත් යථාර්ථය මීට වඩා බොහෝ සේ වෙනස්ය. උදාහරණයක් ලෙස 2020 ජනවාරි පළමුදාට පෙර මේ රටේ වැට් බද්ද තිබුණේ 15%ක් ලෙසිනි. එය 2020 ජනවාරි පළමුදා 8%ක් දක්වා අඩු කෙරිණ. එසේ අඩු කළ වැට් බද්ද නැවත සංශෝධනය කරන්නේ 2022 ජුනි මස 31දාය.
ඒ 12%ක් ලෙසිනි. එසේ පැවති බද්ද 2022 සැප්තැම්බර් පළමු වැනිදා සිට නැවතත් 15% දක්වා වැඩි කෙරිණි. එළැඹෙන ජනවාරි පළමුදා සිට වැට් බද්ද නැවත වැඩි කරන තීන්දුව ගෙන ඇත්තේ එතැන් සිටය. ඒ 18% දක්වාය. ඒ මතුපිටින් පේන සෙල්ලමය. නමුත් 2020 ජනවාරි පළමුදා 15% තිබුණු වැට් බද්ද 8% දක්වා අඩු කරද්දී එකී ආයතන
ඒ අයුරින් තම භාණ්ඩ හා සේවා සඳහා බද්ද අඩු කළේ නැත. එනමුත් 2022 ජුනි මස 31දා එය 12%ක් බවට පත් කරද්දී එකී වැඩි කළ මුදල භාණ්ඩ හා සේවාවන්ට එක් විය. ඒ මුලින්ම පැවති (අඩු නොකළ) 15%ට මිස 8%ට නොවේ. ඒ අනුව සැඟවුණු මුදලත් සමඟ ජනතාවට ගෙවීමට සිදුවන සම්පූර්ණ මුදල 19%ක් පමණ බැව් කිව හැක. 12% තිබුණු වැට් බද්ද නැවතත් 2022 සැප්තැම්බර් පළමුවැනිදා සිට නැවතත් 15% දක්වා
වැඩි කරද්දී නැවතත් 3%ක් එකතු වුණේ අර කියූ 19%ට මිස 12%ට නොවේ. ඒ අනුව 2022 සැප්තැම්බර් පළමු වැනිදා සිට ජනතාව ගෙවන මුදල 22%ක් පමණයැ’යි කීවොතින් සාවද්‍ය නැත. මෙම සංස්කරණ හරහා 18% දක්වා වැට් බද්ද වැඩි වීමේදී ඒ වැඩිවෙන්නේ 22%ට මිස 15%ට නොවේ. ඒ අනුව සැබැවින්ම ලබන වසර ආරම්භයේ සිට මේ රටේ දුප්පත් පුරවැසියා සැඟවුණු ගාස්තුද සමඟ 25%ක පමණ මුදලක් තමා ලබාගන්නා භාණ්ඩ හා සේවාවන් සඳහා ගෙවති. අනික් අතට, ව්‍යාපාරිකයන් විසින් අඩුවනකොට අඩු නොකර වැඩිවෙනකොට වැඩි කරන සැඟවුණු ගාස්තු කිසිවක් රජයට නොයන අතර ඒවා යන්නේ එම ව්‍යාපාරිකයන්ගේම සාක්කුවට වීමද ඛේදයට කරුණකි. එසේම පාරිභෝගික සේවා අධිකාරිය වැනි ආයතන වැඩි මුදලට බඩු විකුණන ගමේ කඩ වටලනවා සේම, ඊටත් වඩා උනන්දුවෙන් මෙවන් ක්‍රියාවන් අධීක්ෂණය කළ යුතුය.
මේ යෝජනා අතර මෙරට ජන දිවිය අවුල් කිරීමට බලපාන ප්‍රධානතම යෝජනාව වන්නේ මෙතෙක් කල් වැට් බද්දෙන් නිදහස් කර ලේඛනයේ ඇති බහුතරයක් වූ භාණ්ඩ වැට් බද්දට ඇතුළු කිරීමයි. මේ ලේඛනයට අයත්ව තිබුණේ රටේ ජන දිවියට අයත් ඉතා සංවේදී අත්‍යවශ්‍ය භාණ්ඩ රාශියකි. එසේම ඒවා රටේ ආර්ථිකය, ග්‍රාමීය කර්මාන්ත, කෘෂිකර්මය, අධ්‍යාපනය හා සෞඛ්‍ය වැනි නැතිවම බැරි අංග හා බැඳී ඇති භාණ්ඩය. ඒවාට මෙලෙස අලුතින් වැට් බද්ද හ¾දුන්වා දීමේදී ඒවාගේ මිල ඉහළ යන්නේ 15% සිට 18% දක්වා නොවේ. ඒවාට අලුතින්ම 18%ක් එකතුවීම මේ අනුව සිදුවේ. ඒ අනුව එම භාණ්ඩ හා සේවාවල මිල ඉදිරියේදී විශාල ලෙස වැඩිවීමත් එහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය වැඩිවී ජන ජීවිතය අවුල් වීම අපි අනිවාර්යයෙන් බලාපොරොත්තු විය යුතු අතර, මේ බදු සංස්කරණ මඟින් එසේ උද්ධමනය වැඩිවීමත් රටේ දරුවන් අතර මන්දපෝෂණය වර්ධනය වීමත් ගැන මුදල් රාජ්‍ය අමාත්‍යවරයාම පහුගිය දිනෙක ප්‍රකාශ කළේය.
මෙම යෝජනා අනුව මෙතෙක් කල් සම්පූර්ණයෙන් බද්දෙන් නිදහස් කර තිබුණු, වැට් නිදහස් උපලේඛනයේ පැවති භාණ්ඩ 94ක් සඳහා අලුතින් බදු අය වේ. මේ භාණ්ඩ නිදහස් ලේඛනයට එකතු කිරීමේ මූලික පදනම වූයේ ඒවා ලංකාවේ මිනිස්සුන්ගේ ජන ජීවිතය හා මූලික වශයෙන් බැඳී ඇති භාණ්ඩ වීමය. අනෙක් පැත්තකින් ඒවා රටේ ග්‍රාමීය නිෂ්පාදන හා ග්‍රාමීය කෘෂිකර්මය, සංචාරක කර්මාන්තය, අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි දේවල් සමඟ ඍජුව බැඳී තිබීම නිසාය.
එසේ වැට් බද්ද අලුතින් පනවන භාණ්ඩයන්ගෙන් කිහිපයක් මෙසේය. LP ගෑස්, පෙට්රල්, ඩීසල්, ජංගම දුරකථන,වෛද්‍ය තාක්ෂණික උපකරණ, ඔෟෂධ නිෂ්පාදනය කරන යන්ත්‍ර සූත්‍ර, ගිලන් රථ ආනයනය, රසායනික පොහොර, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ, සූර්ය පැනල, ගෘහස්ථ සූර්ය පද්ධති, දේශීය සීනි, ස්වර්ණාභරණ, මෘදුකාංග, ෆාම් ඔයිල්, කොප්පරා, රබර්, තේ, පොල්තෙල්, පොල් කිරි, දියර කිරි, පාවහන් නිෂ්පාදනයට යොදාගන්නා සම්, සිතුවම්, සංචාරක සේවාවන්, චිත්‍රපට නිෂ්පාදනය, චිත්‍රපට බෙදාහැරීම, චිත්‍රපට ප්‍රදර්ශනය, දේශීය ධාන්‍ය යොදාගනිමින් නිෂ්පාදනය කරන අධිපෝෂිත ආහාර වැනි භාණ්ඩ රාශියක් මේ අතර වේ. ඒ අනුව බැලූ බැල්මට පෙනී යන්නේ මේ මඟින් ඍජුව රටේ ආර්ථිකයට, අධ්‍යාපනයට, සෞඛ්‍යයට පමණක් නොව සංස්කෘතිය ආදී සියලු දේවල් හරහා ඍජුව පහර වැදී ඇති බවයි. පෙට්රල්, ඩීසල් වැනි භාණ්ඩ මිල ඉහළ යනවා යනු විදුලියද ඇතුළු රටේ සියලුම භාණ්ඩ හා සේවාවන්හි මිල අත්‍යන්තව ඉහළ යෑමට කියන වෙනත් වචනයක් නොවේද? රටේ රෝහල්වල මේ වන විටත් මූලික ඔෟෂධ පවා අතිශය හිඟ වී තිබේ. එසේ තිබියදී වෛද්‍ය උපකරණ සඳහා තව සීමාවක්ද පැනවේ.
දරුවන් හා රෝගීන් පෝෂණය කරන අධිපෝෂිත ආහාර මෙන්ම කිරි මිලද අහස උසට නඟිනු ඇත. රසායනික පොහොර ඇතුළු කෘෂිකාර්මික උපකරණවලට එල්ල කරන පහර මුග්ධ කාබනික පොහොර වැඩපිළිවෙළෙන් සිදුවූ හානිය තවමත් එහි පාර්ශ්වකරුවන්ම අවබෝධ කරගෙන නැති සැටියක් පෙන්වයි. හම් වැනි ආනයනික අමුද්‍රව්‍ය, සංචාරක කර්මාන්තය වැනි දේවලට වදින බද්ද වනාහි මේ රටට ලැබෙන ඩොලර්ස් ටිකත් නැතිකර ගැනීමට මුලක්ය. ලෝකය තිරසර සංවර්ධනයට ළංවෙද්දී, පරිසර හිතකාමී බලශක්තීන්වලට යොමුවෙද්දී අපි කරන්නේ සූර්ය පැනලයටත් බදු ගැසීමය.
යම්කිසි බද්දක් සාධාරණ එකක් වෙන්නටනම් එය ආදායම වැඩිවෙන තරමට වැඩිවන පිළිවෙළට ගෙවන එකක් විය යුතුය. නමුත් වැට් බද්ද එසේ නොවේ. ගෑස් සිලින්ඩරයකට 18% වැට් බද්දක් අය කිරීම උදාහරණයක් ලෙස ගනිමු. 12.5kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3500ක් ලෙසද උපකල්පනය කරමු. ඒ අනුව ගෑස් පාවිච්චි කරන පාරිභෝගිකයා වැට් බද්ද ලෙස රුපියල් 630ක් ගෙවිය යුතු වේ. ඒ අනුව ගෑස් සිලින්ඩරයක සැබෑ මිල රුපියල් 4130කි. එසේම දුප්පත් මිනිසකු හා සාමාන්‍ය මැද ආදායමක් ලැබෙන මිනිසෙක් උදාහරණ ලෙස ගනිමු. දුප්පත් මිනිසාගේ පවුලේ මාසික ආදායම රුපියල් තිස්දාහක් ලෙසත් අනෙකාගේ ආදායම රුපියල් ලක්ෂ තුනක් ලෙසත් තාවකාලිකව උපකල්පනය කරමු. ඒ අනුව ඔවුන් දෙදෙනාටම තම නිවෙසේ ගෑස් අවශ්‍යතාව සැපිරීම සඳහා තම වැටුපේ ප්‍රතිශතයක් ලෙස වියදම් කිරීමට සිදුවන මුදලේ විශාල පරතරයක් ඇත.
නොඑසේනම් ගෑස් නමැති අවශ්‍යතාව සඳහා පමණක් අර කියූ සාමාන්‍ය පුරවැසියාට තම වේතනයෙන් දහයෙන් කොටසකටත් වඩා වැඩි මුදලක් වැය කරන්නට සිදුවේ. සියලු භාණ්ඩයන්ට අහස උසට බදු වැඩිවී තිබියදී, ගෑස් සිලින්ඩරයකට එතරම් මුදලක් ගෙවා ඔහු තම ආහාර පාන, ඇඳුම් පැලඳුම් හෝ තම දරුවන්ගේ අධ්‍යාපන වියදමුත් සෞඛ්‍ය වියදමුත් කළමනාකරණය කරගන්නේ කෙසේද? මැදි ආදායම් ලබන්නාටද එය විශාල ගැටලුවක් වන්නේ මේ වනවිටත් ඔහුගේ වැටුපටද විශාල බද්දක් පනවා තිබීම නිසාය. නමුත් මේ වැට් බද්ද ඔහුටත් වඩා දුප්පතා නැත්තටම නැති කරන බද්දක් බව කිව හැක.
කෝකටත් තෛලය සේ වැට් බද්ද වැඩි කිරීම ගැනද ආණ්ඩුව කියන්නේ එය මූල්‍ය අරමුදලේ නිර්දේශ මත සිදුවන බවයි. නමුත් මූල්‍ය අරමුදල කීවේ, රජයේ ආදායම් හා වියදම් පරතරය අඩු කරගන්නට කියා මිස වැට් බදු වැඩි කරන්නට කියලා නොවේ. ඒ අනුව රජයට මූලික වශයෙන් කරන්න තිබුණේ රාජ්‍ය වියදම් අඩු කරන එකය. නමුත් ඔවුන් කර ඇත්තේ රාජ්‍ය වියදම් තවදුරටත් වැඩි කරන එක පමණි.
ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර