මේ බෑනනුවන් හරි හම්බ කළ දෙයින් ඉඩමක් මිලයට ගෙන පොඩියට නිවෙසක් ඉදිකළා. උයා පිහා ගත්තේ නිවෙස පිටුපස තාවකාලිකව සකසා ගත් මඩුවකයි.
වර්ෂා කාලයේදී එහි ඉවුම් පිහුම් කිරීම බොරුයි. ඒ, එම මඩුවේ නොතෙමෙන තැන්වලට වඩා තෙමෙන තැන් වැඩි නිසා.. මේ නිසාම මේ බෑනනුවන්ට සිය නිවෙස සඳහා මුළුතැන්ගෙයක අවශ්‍යතාව දීර්ඝ කාලයක සිට පැවැතියා. ඒ සඳහා ඔහු මාන බලමින් සිටියා.
එම අඩුව පිරවීමට ඔහු තමාට හැකි අයුරින් මුළුතැන්ගෙයක් ඉදිකිරීමට පටන්ගත්තා. ඒ, ලැබෙන ලැබෙන විදිහට ටිකෙන් ටිකයි. මෙය දුටු ඔහුගේ මාමණ්ඩිය බෑනා ඉදිකරනු ලබන මුළුතැන්ගෙයි වහලයට අවශ්‍ය සෙවිලි තහඩු ලබා දීමට පොරොන්දු වුණා. පොරොන්දු වූවා පමණක් නොව එය ඉටු කළා. ඒ, සිය දුව වෙනුවෙනි.
ඒ අනුව මුළුතැන්ගෙයි ඉදිකිරීම් බෑනා නිම කළා. ඕනෑම වැසි කාලයකදී වුවත් දැන් නොතෙමී ඔවුහු මේ මුළුතැන්ගෙයි සිට ඉවූහ පිසූහ. මේ ආකාරයට දෑ අවුරුද්දක් පමණ ගෙවී ගියා. මාමණ්ඩියත් බෑනන්ඩියත් අතර ආරෝවක් ඇති වූයේ මේ අතරයි. ගහමරා නොගත්තත් එය දුර දිග ගියා.
ගත වූයේ දින කිහිපයක් පමණයි. බෑනා සිය පවුල සමඟ අවශ්‍යතාවකට නිවෙසින් එළියට ගියා. එය නිම වී නිවෙසට ආ බෑනාට දැකගන්නට ලැබුණේ සිය නිවෙසේ මුළුතැන්ගෙයි වහලයේ සෙවිලි තහඩු ටික නැති බවයි. ඔහු කලබල වුණා. ඔහු පමණක් නොව ඔහුගේ භාර්යාව ද කලබල වුණා.
ඔවුහු මේ පිළිබඳව සොයා බැලුවා. දෙයියනේ, තමාගේ මාමණ්ඩිය වහලයට දමා තිබූ සෙවිලි තහඩු ටික ගලවාගෙන පටවාගෙන ගොස් හමාරයි. මේ සඳහා කළ යුත්තේ කුමක් දැයි නොදත් මේ බෑනා මාමණ්ඩියගේ දෙමාපියන් සිහි කර කර ඉන්නේ ආයෙත් මේ වගේ මාමණ්ඩියෙක් නම් එපා කියායි.