පිරිමින්ට ගෑණු එපා වෙන්නෙත්, ගෑණුන්ට පිරිමි එපා වෙන්නෙත් දෙගොල්ලොම කරන මේ වගේ වැඩ නිසා තමයි...
බලන්නකෝ ඒ මොනවද කියලා...
1. මොකද ඇඟට එන්නේ?
දැන් අපි බස් එකක හරි කෝච්චියක හරි යන එක ගැන කතාකරනකොට, අපේ ඔලුවට එන්නෙම පොල් පටෝලා වගේ සෙනඟ පැක් කරගෙන යන කෝච්චියක් හරි බස් එකක් හරිනේ. ඇත්තටම ඒක එහෙම තමයි. ඒක ඉතින් ශ්‍රී ලංකාව වගේ රටක තියෙන ප්‍රශ්නයක්නේ. එතකොට ඒ ඔස්සේ එන තවත් ප්‍රශ්නයක් තමයි ඔය බස් වල කෝච්චි වල කාන්තාවන්ට සිදුවෙන හිරිහැර අතවර. ඒවත් බොරු නෙවෙයිනේ. ගැහැණු ගිහින් මිනිස්සුන්ට ජැක් ගහන්නෙ නැහැනේ. හැබැයි පිරිමි ගිහින් ගැහැණුන්ට ජැක් ගහනවා. ඕක කාලාන්තරයක් තිස්සේ සිද්ධ වෙනකොට, පිරිමියෙක් බස් එකකදී ඇඟේ ගෑවුණත් ගැහැණියක් වපර ඇහෙන් බලන එකට අපිට බණින්න අමාරුයිනේ. ඒක ඇත්ත. හැබැයි අපිට ප්‍රශ්නේ ඇත්තටම විසඳන්න ඕන නම්, හැම පිරිමියෙක්ම ජැක් කාරයෙක් ය කියන අදහස නැති කරන්න වෙනවා. මොකද ඇත්තටම එහෙම නෙවෙයි. අන්න ඒ නිසා, බස් එකකදී හරි කෝච්චියකදී හරි පිරිමියෙක් ඇඟේ ගෑවුණත් ඔරවලා කුඩේ අතට ගන්න එපා කියන එක තමයි කියන්න වෙන්නේ. මොකද, ඇත්තටම එහෙම නොවෙන පිරිමියෙක් ඊට පස්සේ බස් එකකදී ගැහැණියකට සීට් එකක්වත් දෙන්න ඉදිරිපත් වෙන එකක් නෑ.
2. ආත්ම අභිමානයට පහරක්!
දැන් ගෑණු පිරිමි භේදයක් නැතුව ඕනම මනුස්සයෙක්ට තමන්ගේ ආත්ම අභිමානයක් තියෙනවනේ. අන්න ඒ ආත්ම අභිමානයට පහරක් එල්ල වුණහම, ඒක දරාගන්න ඕනම කෙනෙක්ට අමාරුයි. දැන් සමහර ගෑණු කට්ටිය ඉන්නවා, පිරිමින්ට ගහන නිලේ ඒක තමයි. විශේෂයෙන්ම සෙක්ස් සම්බන්ධ කාරණාවකදී එහෙම කියන්නේ “වැඩක් යැයි ඉතින්, කට නං තියෙනවා, අහවල් වැඩේවත් කරගන්න පුළුවන් නං මදෑ” කියලා. හැබැයි ඔය සෙක්ස් සම්බන්ධයෙන් නේ. ඒත් සෙක්ස් අදාළ නොවෙන පොඩි පොඩි තැන්වලදී පවා නොහිතා පිරිමියෙක්ගේ ආත්ම අභිමානයට පහර වදින දේවල් ගැහැණු කියනවා. සරලවම කිව්වොත් “අපෝ ඒකවත් කරගන්න බැහැනේ” කියලා නොහිතා කියන එක වුණත් ඇති පිරිමියෙක්ගේ ආත්ම අභිමානය කුඩුපට්ටම් වෙන්න!
3. මදිපුංචිකං
සමහර තැන් වලදී ඔය ගැහැණු සෙට් එකක් මැද්දට එක පිරිමියෙක් සෙට් වෙන අවස්ථාවන් තියෙනවනේ. ඔෆිස් එකේ ප්‍රොජෙක්ට් එකකදී වෙන්න පුළුවන්. එහෙම නැතිනම් ඉගෙන ගන්න තැන ටීම් ප්‍රොජෙක්ට් එකකදී වෙන්න පුළුවන්. මේ වගේ තැනකදී සමහර වෙලාවට සිද්ධ වෙන දෙයක් තමයි, අර ගැහැණු සෙට් එකම පිරිමියාව බයිට් එකට ගන්න එක. හෝව් පොඩ්ඩක්, ඒ කියන්නේ ගැහැණු සහ පිරිමින්ට විහිළු කරගන්නත් බැරිද? නෑ මේ කියන්නේ විහිළු කිරීම ගැන නෙවෙයි. ඊට වඩා, අර මනුස්සයට ගැහැණු සෙට් එකම එකතුවෙලා මදිපුංචිකම් කිරීම ගැන තමයි මේ කියන්නේ. ඒ කියන්නේ එක්කෝ ගණන් නොගෙන ඉන්න එක, එහෙම නැතිනම් බල්ල මාක් එකට දාලා සැලකීම වගේ දේවල් ගැන. ඔහොම මදිපුංචිකම් එතනදී විඳ දරාගන්න මනුස්සයා ඊට පස්සේ ගැහැණියක් ගැන කොහොම හිතයිද කියන එක ප්‍රශ්නයක්!
4. ඊයා අනේ අරූ
දැන් සාමාන්‍යයෙන් මේ ලෝකේ සම්මතයක් විදියට ගොඩක් දුරට තියෙන්නේ පිරිමියෙක් තමන් කැමති වෙන ගැහැණියක් ‘පස්සෙන් ගිහින්’ කැමැත්ත ගන්න ට්‍රයි කරන එකනේ. ගැහැණියක් තමන් කැමති පිරිමියෙක් හිටියත්, මුලින්ම පය ඉස්සර කරන්නෙ නෑ කියලා සම්මතයක් තියෙනවා. ඒක හරි කියලා නෙවෙයි අපි කියන්නේ. ඒ සම්මතයට පිටින් යන ගැහැණුත් ඕන තරම් ඉන්නවා. හැබැයි එහෙම එකක් තියෙනවා. හරි ඒක කමක් නෑ. හැබැයි පිරිමියෙක් වාතයක් නොවී තමන් ගැහැණු කෙනෙක්ට කැමතියි කියලා පෙන්නන එක වැරැද්දක් විදියට ගන්න සමහර ගැහැණුත් ඉන්නවා. ඒක වෙන්නේ ඉතින් තමන් ආස නැති පිරිමියෙක් තමන්ට කැමතියි කියලා පෙන්නුවහම. එතකොට ශිෂ්ට විදියට ඒක ප්‍රතික්ෂේප කිරීම වෙනුවට සිද්ධ වෙන්නේ, අර මනුස්සයට තමන්ගේ යාළුවෝ සෙට් එකත් එක්ක ගරහන එක. පොරට ලොකු ලයින් දෙන එක. ඒකෙන් වෙන්නේ මනුස්සයාගේ හිත බිඳෙන එක විතරක් නෙවෙයි, එතනින් එහාට ගැහැණු ගැන නරක ප්‍රතිරූපයක් ඇතිවෙන එකත් ඒකෙන්ම වෙන්න පුළුවන් දෙයක්.
5. ගෑණු කමට චාන්ස් එකක් දෙන්න
දැන් මේ ලෝකේ සමහර වෙලාවට ගැහැණුකම කියන එක පාවිච්චි වෙනවනේ. ඒකට ඇත්තටම ගැහැණු විතරක් නෙවෙයි, පිරිමිත් වගකියන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත්, පිරිමියෙක්ව ඉරි කපලා ට්‍රැෆික් පොලිස් මහත්තයෙක්ට අහුවුණොත් කොයි වගේද කියලා අපි අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. දැන් කාලේ නම් ගොඩක් පොලිස් මහත්තුරු සත්තම දාන්නෙ නෑ. හැබැයි ඉතින් දඩේ ගෙවන්නෙ නැතුව යන්න චාන්ස් එකක් නං ලැබෙන්නෙම නෑ. හැබැයි කාන්තාවක් ඉරි කපලා අහුවුණොත්? ඒත් ඉතින් නීතිය හරියටම කරන පොලිස් මහත්තයෙක් හිටියොත් දඩේ ගෙවලා යන්න වෙනවා. හැබැයි ගොඩක් වෙලාවට නලවල කරලා කතා කලහම, “ආයෙ කරන්න එපා නෝනා” කියලා යන්න අරිනවා. ඕකම තව විවිධ තැන් වල විවිධ ආකාරයට සිද්ධ වෙනවා. මෙතනදී ගැහැණු කම පාවිච්චි කරන ගැහැණු වගේම, එකම දේකදී ගැහැණු සහ පිරිමි දෙගොල්ලන්ට දෙවිදියකට සලකන පිරිමිත් වග කියනන් ඕන. හැබැයි තමන්ට නොලැබෙන චාන්ස් එකක් ගැහැණියක් ගැහැණු කම පාවිච්චි කරලා ලබාගන්නවා දකින පිරිමියෙක්ට හිතේ අවුලක් ඇතිවෙන එක වළක්වන්න බැහැ.
6. දෙයක් කරගන්න නං මරු මෝරා
උඩ කියපු ගැහැණුකම පාවිච්චි කිරීම කියන එක, සමහර වෙලාවට සමහර කාන්තාවෝ හිතාමතාම පාවිච්චි කරනවා පිරිමියෙක් ලව්වා දෙයක් කරවගන්න. එතනදී සමහර පිරිමි ඉන්නවා, තමන්ව යූස් වෙනවා කියල මෙලෝ අදහසක් නැතුව ඇඹලයෝ වගේ වැඩ කරලාදෙන. හැබැයි පොඩ්ඩක් හරි සිහිමොළේ තියෙන පිරිමියෙක්ට තේරෙන්න ඕන, තමන් එක්ක සමීප කමක් නැති ගැහැණියක් අනවශ්‍ය සමීප කමක් පෙන්නන කොට, තොඳොල් වෙනකොට එහෙම මෙතන මොකක් හරි වෙන වැඩක් කරවගන්න වුවමනාවක් තමයි තියෙන්නේ කියලා. ඇත්තටම මේ ප්‍රශ්නේ වුණත් විසඳන්න ලෙහෙසියෙන් බෑ. මේ ප්‍රශ්නේට වුණත් වගකියන්න තියෙන්නේ කාන්තාවන්ට විතරකුත් නෙවෙයි. හැබැයි ඉතින් කවුරුහරි දිගින් දිගටම ගැහැණුකම පාවිච්චි කරල පිරිමියෙක්ව මෝරා කරගෙන වැඩ කරගන්න එන එකෙන්, පිරිමියෙක්ට ගැහැණු ගැන තියෙන රෙස්පෙක්ට් එක නැතිවෙන්න පුළුවන්.
7. ලේඩි බොස්
ඇත්තටම මේකත් ගැහැණු පිරිමි කම අදාළ නොවෙන දෙයක්. ඒ කියන්නේ මේ ලෝකේ නරක බොස්ලා ඉන්නවා, ඕකේ බොස්ලා ඉන්නවා, හොඳ බොස්ලා ඉන්නවා. ඒකට ගැහැණු ද පිරිමි ද කියන එක අදාළ නෑ.ඒ ඇරුණහම මේ ලෝකේ වෘත්තිය මට්ටමෙන් බැලුවත් ගැහැණු සහ පිරිමි අතර තවමත් වෙනසක් තියෙනවා කියන එකත් අපිට පිළිගන්න වෙනවනේ. සමහර වෙලාවට පිරිමින්ට ලැබෙන වෘත්තිය අවස්ථාවන් ගැහැණුන්ට නොලැබී යනවා. මේ හැමදෙයක්ම වෙනස් විය යුතු දේවල්. හැබැයි සමහර ලේඩි බොස්ලා ඉන්නවා සම්පූර්ණයෙන්ම තමන් යටතේ ඉන්න පිරිමි වෘත්තිකයන්ට එක විදියකට සලකන ගමන්, තමන් යටතේ ඉන්න ගැහැණු වෘත්තිකයන්ට තවත් විදියකට සලකන. ඒකෙන් වෙන්නෙ මොකද්ද? අර ලේඩි බොස් යටතේ ඉන්න පිරිමි සේවකයෝ සහ ගැහැණු සේවකයෝ අතරේ පියවන්න බැරි පරතරයක් හැදෙන එක. ඇත්තටම මේ ප්‍රශ්නේ තියෙන්නේ ලේඩි බොස් ගැහැණු කෙනෙක් වීමේ නොවෙන්න පුළුවන්, ඒක එයාගේ පර්සනැලිටි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හැබැයි ඒක යන්නේ “ගෑණු එක්ක ප්‍රොෆෙෂනලි වැඩ කරන්න බෑ” කියන තැනට වෙන්න පුළුවන්!
මේ ගැහැණුන්ට පිරිමි සංහතියම එපා වෙන්න සමහර පිරිමි කරන වැරදි වැඩ....
1. පාච්චල් කිරීම
සමහර පිරිමි ඉන්නවා, සෑහෙන්න ගෑණුන්ව පාච්චල් කරන. ඒ කියන්නේ, වෙන විදියකට ගත්තොත්, තමන් පිරිමි වීම නිසා ගැහැණුන්ට වඩා උසස් කියලා පෙන්නන්න උත්සාහ කරන. ඕකට ගැහැණු සහ පිරිමි ගැන සමාජයේ තියෙන සමහර ස්ටීරියෝටයිප් කිරීම් එහෙමත් උදව් වෙනවා. ගෑණුන්ට වාහන එලවන්න බෑ, ගෑණුන්ගෙ මොළේ හැඳිමිටේ, ගෑණියෙක් නං කච කචේ විතරයි, ගෑණුන්ගේ පොත්තේ රත විතරයි මොළයක් නෑ වගේ විවිධාකාරයේ ස්ටීරියෝටයිප් කිරීම් එක්ක මේ විදියේ පිරිමි ගැහැණුන්ව පාච්චල් කරනවා. කවුරුහරි ගැහැණියකට ඔය වගේ පාව්චල් වීම් දිගින් දිගටම විඳින්න වෙනවා කියන්නෙම, එයාගෙ හිතේ සමස්ත පිරිමි සංහතියම එක්ක වෛරයක් ඇති වෙන්න පුළුවන් දෙයක්.
2. මානසිකව වැට්ටවීම
අපි ඕනම කෙනෙක් මානසිකව වැටෙන්න පුළුවන්. ඒ වෙලාවට අපි ලඟින් ඉන්න කෙනෙක්ගෙන් අපිට ඕන කරන්නේ මානසික සහනයක්, සහායක්, නැවත නැගිටින්න, තමන් වටිනවා කියන එක තමන්ටම තේරෙන්න උදව්වක්. හැබැයි ඇත්තටම අපි ලඟින් ඉන්න කෙනා හින්දා නම් අපි නිතරම මානසිකව වැටෙන්නේ? ඕක ඇත්තටම ගැහැණු සහ පිරිමි කියන දෙකොටසටම වෙනවා. විශේෂයෙන්ම තමන් බොහොම විසකුරු සම්බන්ධතාවයක- ටොක්සික් රිලේෂන්ශිප් එකක ඉන්නකොට මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න සිද්ධ වෙනවා. ඇත්තටම හැමෝම මෙහෙම නෑ. හැබැයි කණගාටුවට කාරණාව වෙන්නේ, මේ වගේ නරක අත්දැකීමකට මුහුණ දීපු ගැහැණියක්, ඊට පස්සේ ආයෙමත් පිරිමියෙක්ව විශ්වාස නොකරන්න ඉඩ වැඩි එක තමයි.
3. බඩුවක් වෙන්න ඇති
“පේනවද කොන්ඩේ ටින්ට් කරල තියෙන විදිය?”, “ටැටූ එකකුත් ගහල නේද?”, “ෂුවර් එකටම බඩුවක් තමයි!” මෙන්න මේක අපිට කලාතුරකින් ඇහෙන කතාවක් නෙවෙයි නේද? අවාසනාවකට, අපිට මේක නිතරම ඇහෙන දෙයක්. මෙතනදී බඩුවක් කියලා මිනිස්සු කියන්නේ ඕනම කෙනෙක් එක්ක සෙක්ස් කරන්න ලෑස්ති වෙච්ච, අතින් අත යන ලිංගික භාණ්ඩයක් කියන එක. එතකොට කාන්තාවක් එහෙමයි කියලා මිනිස්සු හංවඩු ගහන්නේ මොකක් නිසාද? පිරිමි යාළුවෝ ඉන්න නිසා වෙන්න පුළුවන්, ඩ්‍රින්ක් එකක් ගන්න එක අවුලක් නැති නිසා වෙන්න පුළුවන්, කොටට අඳින්න අවුලක් නැති නිසා වෙන්න පුළුවන්, ටැටූ එකක් ගහල ඉන්න නිසා වෙන්න පුළුවන්. කොටින්ම තමන්ව ගණන් ගන්නෙ නැති ගෑණියෙක්ව වුනත් ඔහොම බඩුව කියලා හඳුන්වන්න සමහර පිරිමි පැකිළෙන්නෙ නෑ. ඇත්තටම නිර්භීත ගෑණු ළමයෙක් ඔහොම කතන්දර ගණන් ගන්නෙ නෑ. හැබැයි ඒකෙන් පිරිමි ගැන හිතේ ඇතිවෙන අමිහිරි අදහස නැතිවෙන්නෙත් නෑ!
4. පෙනුම ගැන කමෙන්ට්ස්
දැන් ලංකාව වගේ ආසියාතික රටවල පොදුවේ ගැහැණු පිරිමි හැමෝම අතර තියෙන නරක පුරුද්දක් තමයි, කෙනෙක්ගේ පෙනුම ගැන කමෙන්ට් කරන එක. “අනේ ඔයා මහත් වෙලා”, “මොකෝ කෙට්ටු වෙලා, අසනීපයක් වත්ද?”, “ඔයා කළු වෙලානේ, මොනවහරි ගෑවොත් නරකද?” වගේ විවිධාකාර කමෙන්ට්‍ස් අපිට අහන්න ලැබෙනවා. ඔය අතරේ සමහර පිරිමි කරන දෙයක් තමයි කාන්තාවන්ගේ පෙනුම ගැන කමෙන්ට් කරන එක. විශේෂයෙන්ම කාන්තාවන්ගේ අවයව ගැන කරන කමෙන්ට්ස් අපිට අහන්න ලැබෙනවා. “මරු රැක් එක”, “නංගි කිරිමණ්ඩලේද වැඩ?”, “ඩිකියේ බූරු ගහන්න පුළුවන්”, “නංගි තුනී ලෑලි සංස්ථාවෙද වැඩ?” වගේ ලිංගික හැඟවුම්කරණ කමෙන්ට්ස් වගේම අපහාසාත්මක කමෙන්ට්ස් එහෙමත් අපිට අහන්න ලැබෙනවා. ඇත්තටම සමහරු ඒක නිකම්ම ජෝක් එකක් කියලා හිතාගෙන කිව්වත්, ඇත්තටම මෙව්වා විහිළු නෙවෙයි. මේවා ශිෂ්ට සම්පන්න සමාජෙක අහන්න ලැබිය යුතු නැති කතන්දර!
5. පිරිමි හින්දා සලකන්ඩෝනේ,
ඔය සමහර පිරිමි ඉන්නවා, තමන්ගේ පිරිමි කම නිසා තමන්ට විශේෂ සැලකුම් ලැබෙන්න ඕන කියලා හිතන. ඒ කියන්නේ, තමන් පිරිමියෙක් නිසා ගැහැණු කෙනෙක් තමන්ට මුල් තැන දෙන්න ඕන, ජොබ් එකකදී වුණත් තමන් පිරිමියෙක් නිසා තමන්ට මුල් තැන ලැබෙන්න ඕන, විශේෂ වරප්‍රසාද ලැබෙන්න ඕන කියලා හිතන. ඔය ගෑණු ළමයි රෑ පානේ කොහේවත් යන්න හොඳ නෑ, තමන් පිරිමියෙක් නිසා තමන් එහෙම ගියාට කමක් නෑ කියලා හිතන අයත් ඔන්න ඔය කාණ්ඩෙට තමයි වැටෙන්නේ. ඇත්තටම නම් අපි අවබෝධ කරගන්න සහ නිවැරදි කරන්න වුවමනා වෙන්නේ රෑ පානේ පිරිමි කෙනෙක්ට හෝ ගැහැණු කෙනෙක්ට කියන ඕනම කෙනෙක්ට බයක් නැතුව එළියට යන්න පුළුවන් සමාජයක්නේ. හරි, ආයෙමත් කතාවට ආවොත්, මෙහෙම සමහර පිරිමි තමන් පිරිමි වීම විශේෂ සැලකීම් ලබන්න හේතුවක් කරගන්න එකෙන්, කාන්තාවෝ ගොඩක් වෙලාවට කොන් වෙනවා. එතකොට ඒ කාන්තාවන්ගෙ හිතේ පිරිමි ගැන ඇතිවෙන්නේ නරක හැඟීමක්!
6. අනවශ්‍ය බලපෑම්
දැන් ඔය අනවශ්‍ය බලපෑම් කියන එක හරියට විස්තර කළොත්, ලිංගික බලපෑම්, ලිංගික හිරිහැර, ලිංගික කරදර විදියට තමයි අපිට මූලිකවම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. වෙන විදියකට කිව්වොත්, ගැහැණියකට බස් එකකදී කෝච්චියකදී ජැක් කාරයෙක් ඇවිත් හේත්තු කරන එකේ, එහෙන් මෙහෙන් අතපත ගාන්න උත්සාහ කරන එකේ ඉඳන්, ඔෆිස් එකේ මනුස්සයෙක් ඩබල් මීනින් කතාවක් කියලා හිනාවෙන එක දක්වා, තමන් එක්ක ලිංගික හැසිරීමකට අකමැති ගැහැණියකට දිගින් දිගටම බලෙන් ලිංගික ආරාධනා කිරීමේ ඉඳන්, තමන්ගේ සිවිල් බලය උපයෝගී කරගෙන ගැහැණියකගේ කැමැත්තක් නැතුව ඇඳට ගෙනියන්න උත්සාහ කරන බොස් කෙනෙක් දක්වා මේ අනවශ්‍ය බලපෑම් කියන එක විහිදෙනවා. ආන්න ඒවා නිසා ගොඩක් වෙලාවට ගැහැණුන්ට පිරිමි සංහතියම එපා වෙන අවස්ථාවනුත් තියෙනවා.
7. කුස්සිය මුල්ලට
අපි දැන් ඉන්නේ 21 වෙනි සියවසේ. මේ යන්නේ 2022 අවුරුද්ද. හැබැයි එහෙම වුණත්, තාමත් ඉන්නවා අර හණමිටි අදහස් කරපින්නගෙන ඉන්න අය. උදාහරණයක් විදියට ගත්තොත්, තාමත් සමහර මිනිස්සු හිතනවා ගෑණු ළමයෙක් වුණහම කුස්සියේ වැඩ, ගෙදර වැඩ කරගෙන ඉන්න ඕන, එතකොට රස්සා එහෙම කරන්න හොඳ නෑ, ළමයි බලාගෙන ඉන්න වැඩේ තමයි කරන්න ඕන, බැරිවෙලාවත් කකුලක් පේන ඇඳුමක් අඳින්න හොඳ නෑ, ගෙදරින් කෙනෙක්ව හොයලා දෙනකල් ලව් කරන්න හොඳ නෑ, පිරිමි යාළුවෝ ඉන්න හොඳ නෑ, කතා බහ කරන්න හොඳ නෑ, පිරිමි කරන වැඩ කරන්න හොඳ නෑ වගේ දේවල්. ඇත්තටම මේ වගේ දේවල් වලට හිනාවෙන, මේ වගේ අදහස් වලට එරෙහිව කැරලි ගහන ගෑණු ළමයි ඉන්නවා. හැබැයි ඒ වගේම තමයි, මේ වගේ අදහස් නිසා සම්පූර්ණයෙන්ම මර්දනය වෙලා, ඇත්තටම කුස්සිය මුල්ලට තල්ලු වෙන ගෑණු ළමයිනුත් ඉන්නවා. විශේෂයෙන්ම තමන්ගේ පවුලේ වැඩිමල් සහෝදරයෝ, තාත්තා එහෙම මේ විදියේ අදහස් දරණකොට, ගෑණු ළමයෙක්ට හැම පිරිමියෙක්ම එහෙමයි කියලා හිතෙන්න පුළුවන්.