එළැඹෙන වර්ෂයේ සිට පවතින අධ්‍යාපන ක්‍රමයේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් ම සිදුකිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.
2023 වර්ෂයේ පැවැත්වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඉහළම ලකුණු ලබාගත් සිසුන් සහ 2022 වර්ෂයේ පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිට ඉහළම ලකුණු ලබාගත් සිසුන් ඇගයීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයෙහි පැවති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කලා.
මෙහි දී වැඩිදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඉදිරියේ දී විභාගවලින් ලකුණු සියයට සියයක් ගැනීම මත පමණක් සිසුන් ඇගයීම සිදුනොකරන බවයි.
සිසුන් පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලබා ගන්නා ලකුණු මෙන්ම 4, 5 ශ්‍රේණි දෙක තුළ පන්ති කාමරයේ දී සිදුකරන ඇගයීම්වලින් 30% ක් ලකුණු ලබාගත යුතු බවත්, මේ සඳහා සිසුන්ගේ අඛණ්ඩ පාසල් පැමිණීම පවත්වා ගත යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
මෙහි දී ගුරුවරුන් පක්ෂග්‍රාහී ව කටයුතු කරනු ඇති බවට ඇතැම් දෙමව්පියන් විවේචන එල්ල කළ හැකි බව ද, එහෙත් එවැනි තත්ත්වයන්ට ඉඩක් නොමැති බව ද, සියල්ලට පෙර දෙමව්පියන් සහ සිසු දරුවන් අතර ගුරුවරුන් කෙරෙහි පැහැදිලි විශ්වාසයක් ගොඩනංවා ගැනීම වැදගත් බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය,