තිබ්බටු ගසක් සාමාන්‍යයෙන් අඩි හතරක් ,පහක් පමණ උසට වැවෙන අතර එහි මල් සුදු හා නිල් ලෙසින් වර්ග දෙකක් දකින්නට ලැබෙනවා.
තිබ්බටු රසවත් ආහාරයක් වගේම තිබ්බටු ගසේ පංචාංගයම ආයුර්වේදයේ දී විවිධ රෝගයන්ට ඖෂධ වශයෙන් භාවිතා කරනු ලබනවා.
ආහාරමය වශයෙන් ගත්තාම, තිබ්බටු තෙම්පරාදුවක් ,මැල්ලුමක්, සම්බෝලයක් හෝ තිබ්බටු මඤ්ඤොක්කා කොල මැල්ලුම ආදී ලෙස ආකාර කිහිපයකට පිළියෙල කරගන්න පුළුවන් .
තිබ්බටු මැල්ලුම හා තෙම්පරාදුව පිළියෙල කරගන්නා ආකාරය බොහෝ දෙනා අතර ජනප්‍රිය බව නොරහසක්.එබැවින්,තිබ්බටු සම්බෝලය හා තිබ්බටු මඤ්ඤොක්කා කොල මැල්ලුම සකසාගන්නා ආකාරය පමණක් මා මෙහිලා කෙටියෙන් සඳහන් කරන්නම්.
තිබ්බටු සම්බෝලය :
ඉස්සෙල්ලාම තිබ්බටු ගෙඩි හොඳින් සෝදා කබලේ බැදගන පසුව ඒ ටික හොඳින් කුඩුකර කුඩුකර ගන්න ඕනේ..
ඊට පස්සේ පූල් පොල් ,ලුණු ,රතුලුණු,තක්කාලි සමග පෙර කී තිබ්බටු කලවම් කර ආහාරයට ගන්න පුළුවන්.
තිබ්බටු මඤ්ඤොක්කා කොල මැල්ලුම:
මුලින්ම ලියාගත් මඤ්ඤොක්කා කොල වංගෙඩියක දමා ඊට ගා ගත් පොල්, කහ ස්වල්පයක්,ලුණු ,රතුලූනු අමුමිරිස් සහ තිබ්බටු දමා හොඳින් කොටා ගන්න.
ඊට පසුව පොල් තෙල් ස්වල්පයක් දමා ගත් භාජනයක් ලිප තබා රත්වූ තෙලට,අබ, සුදුලූනු,දමා ඒවා බැදුනු පසුව,පෙර කී කොටා ගත් මිශ්‍රණය දමා මද ගින්නේ කූරු ගාමින් මලවාගෙන ආහාරයට ගන්න පුළුවන්.
තිබ්බටු ගැන කතා කරද්දී,තිත්ත තිබ්බටු ගැනත් අමතක කරන්න බැහැ.
බටු කුලයේම ඖෂධීය ගුණයෙන් සපිරි,ඉතා වියළි ශුෂ්ක කලාපවල වගේම,උඩරට පහත රට තෙත් කලාපවල ද කිසිම සාක්කුවකින් තොරව ඉතා සරුවට වැවෙන ශාකයක් තමයි තිත්ත තිබ්බටු ශාකය.
තිත්ත තිබ්බටු මදක් තිත්ත කටුක රසයෙන් යුක්ත නිසා බොහෝ දෙනා ආහාරයට ගනු ලබන්නේ ඉතා අඩුවෙන්.
එහෙත්,ශරීර උෂ්ණත්වය පහත හෙලන අර්ශස් රෝගයට ද ඉතා සුවදෙන, ලේ පිරිසිදු කරන,තිත්ත තිබ්බටු ඖෂධීය ගුණයෙන් නම් හරිම පොහොසත්.
මෑතකදී ආහාරයට නො ගත්තත් කුඩා කල ගමේ වැව අද්දර තිබුණ ,තිත්ත තිබ්බටු කඩාගෙන විත් ,ලුණු වතුරේ දාලා බැදලා බත් එක්ක කාපු මතකය මට තාම තියෙනවා..
තිත්ත තිබ්බටු ගැන කතා කිරීමේදී එදා හෙළයන්ගේ නිරෝගි බව රැක දුන්,තිත්ත තිබ්බටු ආනම අමතක කළ නොහැකියි.
තිත්ත තිබ්බටු ආනම:
කබලේ බැදගත් තිත්ත තිබ්බටු සහ රන්වන් පැහැවන තෙක් බැද ගත් පොල් ස්වල්පයක් පසෙකින් තබා ගන්න.
අනතුරුව පසුව සුදුළුනු ,අබ ඇට ස්වල්පයක්,කොච්චි,ලුණූ ස්වල්පයක් දමා ගලේ අඹරා ගන්න.
ඊටත් පසුව භාජනයක් ගෙන අර කලින් බැදගත් තිත්ත තිබ්බටු දමා හැන්දෙන් පොඩිකර,පසුව මා පෙර කී බැදගත් පොල් සහ කුළුබඩු මිශ්‍රණය දමා පදමට ජලය එක්කාසු කොට පිසගන්න.
ශරීරයට හිතකර විටමින් වර්ග,ප්‍රොටීන්, ඛනිජ ලවණ කැල්සියම් ,පොටෑසියම් ආදී පෝෂණ ගුණ රැසකින් යුක්ත තිබ්බටු වල ඇති ඖෂධීය ගුණ නම් බොහොමයි.
ඉන් කිහිපයක් මෙලෙස ගෙන හැර දක්වන්නම්.
හෘද රෝග පාලනය කරයි.(අධි රුධිර පීඩන තත්වයන් පාලනය කිරීමට ඉතා ගුණදායකයි.)
ඇස් පෙනීම හා දන්ත රෝග සුව කරයි.(වයස්ගත වීමත් සමඟ ඇතිවන ඇස් නොපෙනීම සහ රාත්‍රී අන්ධතාවය පාලනය කරයි.ඒ වගේම දත් හිරිවැටීම දත් කැක්කුම වළක්වමින්,දත් ශක්තිමත් කරයි.කැක්කුම ඇති විට තිබ්බටු ගෙඩි පුච්චා ඒ දත මුල් ආලේප කිරීමෙන් වේදනාව සමනය කරගන්න පුලුවන් .)
හිසරදය සමනය කරයි.
උදුගොව්වන් කෑම සුව කරයි.(ඉදුණු තිබ්බටු ගෙඩි කිහිපයක් පුළුස්සා,තල තෙලින් අනා උදුගොව්වන් කෑ ස්ථානවල ආලේප කිරීමෙන් සමනය කරගන්න පුළුවන් )
ගෑස්ට්‍රයිටීස් හෙවත් අම්ල පිත්ත රෝගය සමනය කරයි.
පණුවන් මර්දනය කරයි.(ආහාර මාර්ගයේ සිටින පණුවන් සහ වෙනත් ජීවීන් ජීවීන් මර්ධනය කරනු ලබයි.
ශ්වසන රෝග සමනය කරයි.(ඇදුම ,පීනස, පෙනහළු ආශ්‍රිත පිළිකා පාලනය කරයි.)
මල බද්ධය සමනය කරයි.(ආහාර ජීර්ණය පහසු කරනවා වගේම,තිබ්බටු වල තියෙන තන්තු වලින් මලබද්ධය ඇතිවීම පාලනය කරයි)
මතක ශක්තිය වැඩිදියුණු කරයි.
ශරීරයේ ඇති වන වේදනා, ඉදිමුම් සමනය කරයි.(පාද ඉදිමුම ,ඇඟිලි හිරිවැටීම, තුනටියේ වේදනාව,)
ආර්තව චක්‍රය ක්‍රමවත් කරයි.
මේ ආදි වශයෙන්, ශරීරය සිසිල් කිරීම,පිළිකාව, අධිරුධිර පීඩනය,අර්ශස් රෝගය,දියවැඩියාව,මූත්‍ර ගල් දියකිරීම,රක්තහීනතාවය,කක්කල් කැස්ස යන රෝග රැසකට තිබ්බටු ගුණදායක ආහාරයක් වග කිව හැකියි.
