වසීම් තාජුඩීන්ගේ ඝාතනයට අදාල CCTV සම්බන්ධයෙන් රටපුරා කතාබහක් ඇතිව ඇති මොහොතක ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් ‘කැප්ටන් ’ කෙනෙකු නමින් හැඳින්වෙන හමුදා නිලධාරියකු පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වන බවට පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කර ඇතැයි වාර්තා වෙනවා.
ඔහු හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක අංශයේ කටයුතු කොට ඇති අයෙකු වන බවටද වාර්තා වන අතර හිටපු ජනපතිවරයාගේ රියැදුරකු වශයෙන්ද ඔහු කටයුතු කොට ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
තාජුඩීන්ගේ රථය ගිනිගෙන දැවෙන අවස්ථාවේ එම ස්ථානයට පැමිණි කිහිපදෙනකු පරීක්ෂණ කණ්ඩායම්වලට ප්‍රකාශ ලබාදෙමින් සඳහන් කොට ඇත්තේ ‘කැප්ටන්’යන අන්වර්තනාම ඇති පුද්ගලයාට සමාන පුද්ගලයකු තමන් එහිදී දුටු බවයි.
එමෙන්ම තාජුඩීන්ගේ වාහනය දැවෙන අවස්ථාවේදී එම ස්ථානය අසල ඩිෆෙන්ඩර් රථ දෙකක් තිබුණු බවත්, එයින් පැමිණි සැක කටයුතු පුද්ගලයන් කිහිපදෙනකු ප්‍රදේශවාසීන් තාජුඩීන්ගේ රථය වෙත ළංවීම වැළැක්වූ බවත් ඔවුන් සිය ප්‍රකාශවල සඳහන් කොට ඇතැයි වාර්තා වෙනවා.
ඩිෆෙන්ඩර් රථවලින් පැමිණි පුද්ගලයන් ප්‍රදේශවාසීන්ට පවසා ඇත්තේ කුමන මොහොතක හෝ මෝටර් රථය ගිනිගෙන පුපුරා යා හැකි බවත් ඒ වෙත ළංවීමෙන් වළකින ලෙසත්ය.
එමෙන්ම කිරුළපන මංසන්දියෙන් ලබාගත් සී.සී.ටී.වී. දර්ශනවලින් අනාවරණය වී ඇත්තේ වාහන කිහිපයක් විසින් රග්බි ක්‍රීඩක තාජුඩීන්ගේ මෝටර් රථය ලුහුබඳින ආකාරයයි.
තාජුඩීන් එම වාහන මගහැර යන්නට උත්සාහ කරන අන්දමත් ලුහුබඳින වාහන ඔහු පලායාම අවහිර කරන අන්දමත් සී.සී.ටී.වී. දර්ශනවල පැහැදිලිව සටහන්ව ඇති බවත් පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරන බවට පුවත්පත් වාර්තා වල දැක්වෙනවා. කැප්ටන් නම් වූ පුද්ගලයා එලෙස සී.සී.ටී.වී. දර්ශනවල සටහන්ව ඇති වාහනවලින් එකක පැමිණෙන්නට ඇතැයි සැකකරන බවටද වාර්තා වෙනවා.
මෙම සී.සී.ටී.වී. දර්ශන පිළිබඳ සවිස්තර වාර්තාවක් තවත් සති දෙකකින් කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක පීඨය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය.