කොටදෙනියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයාගේ වැඩිමහල් සහෝදරයා වන සමන් ජයලත් නමැත්තා මේ මස 19 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
තමන් සේයා සදෙව්මි දැරිය පැහැරගෙන ගොස් අතවර කළ බවත්, අනතුරුව ඇයව ඝාතනය කළ බවත් සැකකරු පිළිගෙන ප්‍රකාශයක් කර ඇති බව රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා. එසේම මෙම පුද්ගලයාව සේයා දැරිය ඝාතනය කර තිබූ ස්ථානයට රැගෙන ගිය බවත්, මොහු විවිධ සිද්ධීන් සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි අයෙකු බවත් රහස් පොලීසිය, මහේස්ත්‍රාත්වරයා හමුවේ කියා සිටියා.
සේයා සදෙව්මි දැරියගේ ඝාතනයේ සම්පූර්ණ වගකීම තමන් භාර ගන්නා බව මෙම සැකකරු ප්‍රකාශ කර ඇති බවයි රහස් පොලීසිය අද අධිකරණයට දැනුම් දුන්නේ.
නඩුව කැදවූ අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා ද බන්ධනාගාර බස් රථයකින් අධිකරණයට රැගෙන එනු ලැබුවා. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඔහු සම්බන්ධයෙන් සිදුකළ ඩී.එන්.ඒ. පරීක්ෂණයේ වාර්තාව ලැබෙන තුරු මේ මස 19 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.
සිද්ධිය සම්බන්ධයෙන් කොණ්ඩයාගේ සහෝදරයා පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත්තේ පහත අයුරිනුයි..
‘‘ඇරලා තියෙන ජනේලයෙන් ගේ ඇතුළට ඇඳට කකුලක් තියලා පැනගත්තා. ඒ වෙනකොට ළමයි නිදාගෙන හිටියේ. කොහොම හරි මම ළමයා වඩාගෙන බොහොම අමාරුවෙන් ජනේලයෙන්ම එළියට පැන්නා. ඊට පස්සේ කළුවරේම ළමයත් අරගෙන වැලිපාර දිගේ ගියා” යැයි “කොණ්ඩයාගේ” අයියා වන සමන් ජයලත් රහස් පොලිසිය හමුවේ පවසා ඇත.
එදා මම මේ දරුවාගේ ගෙදර ගියා. යනකොට මට ජනේලෙන් පෙනුණා මේ දරුවාගේ අම්මා ටී, වී. බල බල ඉන්නවා. ඒත් ඒ වෙලාවේ ගෙදරට පනින්න විදිහක් නෑ, ළමයිනුත් ඉන්නවා, ගෙදර කට්ටියත් ඉඳියි කියලා බය හිතුණා. පස්සේ මම ටිකක් රෑ වෙනකල් ඇවිද ඇවිද හිටියා.
මම ආයෙත් එනකොට කාමරේ ලයිට් දාලා තිබුණේ. ඒ වෙලාවේ මට හිතුණා මම අනිවාර්යයෙන්ම මොකක් හරි කරනවා කියලා. ඊට පස්සේ ජනේලය ගාවට ගිහින් ජනෙල් දොර අරින්න හැදුවා. ඒත් එක්කම ජනෙල් දොර අරලා තිබ්බේ. පස්සේ මම ජනේලෙන් ඇතුළට පැන්නා. ඇතුළට පැන්නේ ඇඳට කකුල තියලා. ඒ වෙනකොටත් කට්ටිය නිදි. පස්සේ හෙමින්ම කාමරේට ගිහින් මම ගේ ඇතුළේ පිහියක් හෙව්වා. ඒත් පිහියක් තිබ්බේ නෑ. අන්තිමට මට ටිකක් බයක් ආවා පිහියක් නැතුව ගෑනු කෙනා ළඟට ළං වුණොත් එයා කෑගහයි කියලා. එහෙම වුණොත් කට්ටිය ඇවිත් ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා මට හිතුණ නිසා මම අදහස වෙනස් කරගත්තා. ඒ වෙනකොට ළමයි නිදාගෙන හිටියේ. මම ළමයව අරගෙන යන්න තීරණය කළා.
සැකකරු පසුගියදා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වෛද්‍යවරයාට යොමු කර ඇති අතර එහිදී ඔහුගේ ශරීරයේ තුවාල කිහිපයක් තිබෙන බවට හඳුනාගෙන ඇත. එහිදී හෙළි වී ඇත්තේ දරුවා විසින් පහරදීමේදී ඇති වූ තුවාල බවද ආරංචි මාර්ග පවසයි.
සැකකරු ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර පොලිස් භාරයට ගත්තත් ඔහු සඳහන් කර සිටියේ මෙය තමාගේ සහෝදරයා වන කොණ්ඩයා විසින් සිදු කළ බවය. ඒ සඳහා තමන් සාක්ෂි දීමටද කැමැත්ත පළ කර ඇති බව සඳහන් වේ. ඒ අනුව කොණ්ඩයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මොහු නිදහස් කර යවා ඇත.