එක්සත් ජාතික පක්ෂයේ මාතර අකුරැස්ස සංවිධායකධුරය දරන බුද්ධික පතිරණ ආසනය පරාද වුවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස එක්සත් ජාතික පක්ෂ ලයිස්තුවේ ප්‍රථමයා වෙමින් යළිත් වරක් තේරී පත්වුණා. සාගල රත්නායකද දෙනියාය ආසනය පරාජයට පත්වුවද ඔහුද පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබෙනවා.
ගාල්ල බෙන්තර - ඇල්පිටිය ආසනයේ සංවිධායකධුරය දරන අමාත්‍ය ගයන්ත කරුණාතිලක සිය ආසනය පරාජය වුවද ඔහු මෙවර එක්සත් ජාතික පක්ෂ ගාල්ල ලයිස්තුවේ ප්‍රථමයා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල ආසනය පරාජයට පත්වුණා. එහෙත් එහි සංවිධායක ධුරය දැරූ මනූෂ නානායක්කාර පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.
එක්සත් ජාතික පක්ෂයේ කළුතර බණ්ඩාරගම ආසනයේ සංවිධායකධුරය දරණ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා සිය ආසනය පරාජය වුවද පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. පාලිත තෙවරප්පෙරුම බුලත්සිංහල ආසනය පරාජය වූ අතර, ඔහුද මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ මහරගම ආසන සංවිධායක වන අමාත්‍ය විජේදාස රාජපක්ෂ සිය ආසනය පරාජය වුවද පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. කඩුවෙල ආසනය සුජීව සේනසිංහ පරාජයට පත්වුවද ඔහුද පාර්ලිමේන්තුවට තේරී පත්වීම විශේෂත්වයක්.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර නාවලපිටිය ආසනයේ සංවිධායක වන මහින්දානන්ද අලුත්ගමගේ සිය ආසනය පරාජයට පත්වුවද ඔහු පාර්ලිමේන්තුවට පත්වූ අතර, කුණ්ඩසාලේ ආසනයේ සංවිධායකධුරය දරන කෙහෙළිය රඹුක්වැල්ල සිය ආසනය පරාජයට පත්වුවද පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.
පුත්තලම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වෙන්නප්පුව ආසනය අරුන්දික ප්‍රනාන්දු පරාජයට පත්වුවද ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබූ අතර, එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම ආණමඩුව ආසනයේ සංවිධායක වූ පාලිත රංගේබණ්ඩාර සිය ආසනය පරාජය වුවද මෙවරත් පාර්ලිමේන්තුවට තේරී පත්වුණේ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ ලයිස්තුවේ පළමුවෙනියා වෙමින්.
එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර - බටහිර ආසනයේ සංවිධායක වූ අමාත්‍ය පී. හැරිසන් සිය ආසනය පරාජය වුවද ඔහු එම ලයිස්තුවේ ප්‍රථමයා බවට පත්වෙද්දී අමාත්‍යවරියක ලෙස අනුරාධපුර නැගෙනහිර ආසනයේ සංවිධායකධුරය දැරූ චන්ද්‍රානි බන්ඩාර සිය ආසනය පරාජය වුවත් යළිත් වරක් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.
මොණරාගල එක්සත් ජාතික පක්ෂයේ මොණරාගල ආසනය අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පරාජයට පත්වුවද ඔහු එම ලයිස්තුවේ ප්‍රථමයා වෙමින් පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබෙනවා.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස තිස්සමහාරාම ආසනය පරාජයට පත්වූවද ඔහුද පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර, තංගල්ල ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරයා වූ දිලිප් වෙදආරච්චි සිය ආසනය පරාජයට පත්වුවද ඔහුද පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.
මේ අතර එක්සත් ජාතික පක්ෂය රත්නපුර නිවිතිගල ආසනය පරාජයට පත්වුවද එහි සංවිධායකවරිය වූ අමාත්‍ය තලතා අතුකෝරාල පාර්ලිමේන්තු වරම් හිමිකරගත්තා.
බදුල්ල මැතිවරණ කොට්ඨාශයේ ප්‍රධාන සංවිධායකධුරය දැරූ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ජයග්‍රහණය හිමිකරගත්තද ඔහු නියෝජනය කරන ආසනය පරාජයට පත්වුණා. එමෙන්ම ජාතික ලයිස්තුව නියෝජනය කරන හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරාගේ ආසනය වන හාලිඇළද මෙවර පරාජයට පත්වී තිබෙනවා.
ඊට අමතරව මහියංගණය ආසනය නියෝජනය කළ තේනුක විදානගමද මන්ත්‍රීවරම් හිමිකරගත්තත් ඔහුගේ ආසනයද පරාජයට පත්වී තිබෙනවා.