දේශපාලනය තුළ පක්ෂ භේදයක් නැතිව නිරන්තරයෙන්ම කතා කරන නමක් හැටියට පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාරව හඳුන්වා දෙන්න පුළුවන්. බොහෝ දෙනෙක් හඳුනන, ආදරේ කරන නලීන් ගැන අහන්න ඔහුගේ ආදරණිය බිරිඳ මධුෂානි ෂෙහාරා හේරත්ව කතාබහකට එකතු කරගත්තා. ආදරණිය සැමියා ගැන මධුෂානි කියන්නේ මෙහෙමයි.
සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කරන ඔබේ ආදරණිය සැමියා දේශපාලඥයෙක් විදිහට කාර්ය බහුල චරිතයක් වෙන්න ඇති, ඔහුව මුණගැහුණු හැටි මතක්කරලම අපි කතාබහ ආරම්භ කරමු..?
දේශපාලනයට සම්බන්ධ වුණු දවසේ ඉදලම එයා නම් කාර්යබහුල කෙනෙක් තමයි, අද වැඩක් කිව්වොත් ඒ වැඩේ වෙන්නේ සතිදෙකතුනකින් තමයි. ඒ තරම් එයාගේ වැඩ වැඩියි. අපි මුණගැහෙන්නේ නුවරදී. ඒ මුණගැහුණු අවස්ථාවේ කතාබහ කරලා පසුව දැන හඳුනාගෙන විවාහ වුණා. අපි විවාහ වෙන්නේ 2002 වර්ෂයේදී.
ඔබ ඔහුව හඳුනා ගන්න විට ඔහු දේශපාලනයට සම්බන්ධ වෙලා හිටියේ නැහැ නේද..?
නැහැ. මම එයාව හඳුනා ගන්නකොට එයා ගුරුවරයෙක් විදිහට කටයුතු කළේ. ඊට අමතරව එයාගේ ආයතනයක් තිබ්බා. කන්ස්ට්‍රක්ෂන් සම්බන්ධයෙන් වැඩ කරන. ඒ වැඩකටයුතු තමයි කළේ. අපි විවාහ වෙලා පුතාලා දෙන්නත් හම්බුනාට පස්සේ තමයි එයා දේශපාලනයට සම්බන්ධ වුණේ. 2010 අවුරුද්දේ තමයි එයා දේශපාලනයට සම්බන්ධ වෙමින් නාම යෝජනා භාර දුන්නේ. ඒ වෙද්දී ලොකු පුතාගේ වයස අවුරුදු 6යි. පොඩි පුතාගේ වයස අවුරුදු 4යි.
සාමාන්‍ය ජිවිතයක් ගත කරමින් හිටිය ඔහුට දේශපානය ගැලපුනේ කොහොමද, ඔබ බිරිඳ හැටියට ඊට විරුද්ධ වුණේ නැද්ද..?
දේශපාලනයට සම්බන්ධ වෙන්න කැමතියි කියලා එයාගේ යෝජනාව මට කියද්දී ඇත්තටම මම නම් කැමති වුණේ නැහැ. මම තදින්ම විරුද්ධ වුණා දේශපාලනයට යන්න එපා කියලා. නමුත් මගේ තදබල විරෝධය නොතකා එයා මටත් හොරෙන්ම නාම යෝජනා භාර දීලා. නාම යෝජනා දුන්නට පස්සේ තමයි මම දන්නේ එයා දේශපාලනය සම්බන්ධ වුණා කියලා. දේශපාලනය සම්බන්ධ වෙන්නේ නැහැ කියලා බොරු කියලා හරිම කපටි විදිහට තමයි එයා හොර රහසේ ඒ වැඩේ කළේ මම අකමැති නිසා. පස්සේ ඉතින් අකමැත්තෙන් වුණත් එයාගේ වැඩ කරගෙන යන්න මමත් නිදහස දුන්නා.
ඔහු දේශපාලනය සම්බන්ධ වෙලා සමාජ ගත වෙද්දීවත් ඔබේ අදහස වෙනස් වුණේ නැද්ද..?
අදටත් මම අකමැතියි එයා දේශපාලනය සම්බන්ධ වුණාට. ඒත් මගේ අකමැත්ත එයාට බලපෑවේ නැහැ. එයාගේ සතුට වෙනුවෙන් මම නිහඬව ඉන්නවා. නමුත් ඔහු දේශපාලඥයෙක් විදිහට සමාජ ගත වෙද්දී ඔහුට ලැබෙන ආදරය පිළිගැනීම ගෞරවය එක්ක සතුටක් දැනෙනවා. කොහේ ගියත් අඳුරගෙන කතාබහ කරනවා ජනතාව. ඒ ප්‍රසාදය ගැන නම් සතුටක් තියෙනවා.
ඔබේ අකමැත්ත පවුල් ජිවිතයට බලපෑවේ නැද්ද..?
මත ඇති කාලෙක එයා එක්ක ටික දවසක් නිදහසේ අපිට ජිවත් වෙන්න අවස්ථාව ලැබිලා නැහැ. නමුත් පවුල් ජිවිතයට එයාගේ දේශපානය බලපාන මට්ටමට එයා කටයුතු කරන්නේ නැහැ. කොච්චර කාර්යබහුල වුණත් ගෙදරට වෙන්න ඕන යුතුකම් අදාළ දිනයට කලේ නැතත් වෙන දවසක හෝ කරන්න අමතක කරන්නේ නැහැ. පවුලට ලැදියි. අපිට ආදරෙයි. කිසිම අඩුපාඩුවක් නැහැ.
දේශපාලන ජිවිතයේ විවිධ කතා, අපහස එක්ක ඔබ ඔහුට කියලා නැද්ද දේශපාලන ජිවිතයෙන් ඉවත් වෙන්න කියලා..?
මම දේශපාලනයෙන් අයින් වෙන්න කිව්වට වැඩක් නැහැ. එයා දේශපාලන ජිවිතයට සමු දෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ යෝජනාවක් මම කළාට වැඩක් වෙන්නේ නැහැ.
නලින් මන්ත්‍රීතුමාට අයිති කුලියාපිටිය නිවසක නීතිවිරෝධී කටයුත්තක් සිදු වූ බවට පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක් වුණා, එවැනි සිද්ධි හමුවේ පවුලට වෙන බලපෑම ඔහුගේ බිරිඳ හැටියට දැනුණේ කොහොමද..?
එයාගේ දේශපාලන ජිවිතේ අනිසි දේවල්, අනවශ්‍ය විදිහට දේශපාලන භාවිතය ගැන කිසිම කටකතා මඩ ප්‍රචාර මිට පෙර ගියේ නැහැ. නමුත් පසුගිය කාලෙක එයාට ලොකු මඩක් ගැහුවා. ඒ එයාගේ කුලියාපිටිය නිවසක නීතිවිරෝධී ලෙස මත්පැන් පෙරීමක් ගැන. ඒ නිවස කුලියට ලබා දීලා තියෙනවා. ඒ ආරංචිය මුලින්ම මට කිව්වේ අපේ එහා ගෙදර නංගි. මම නලීන්ට කිව්වා පොලිසියට කතා කරලා ඒ ගැන පැමිණිල්ලක් දාන්න කියලා. මිට කලින් ඒ වගේ ප්‍රශ්න වෙලා නැති නිසා මම පුදුමාකාර පීඩනයකට ලක් වුනා. දවස් දෙක තුනක් යනකල් වුනේ මොනාද කියලා හිතාගන්නවත් බැරි වුනා. මගේ දෙමාපියන් වගේම නලින්ගේ දෙමාපියන් සාමාන්‍ය විදිහට ජිවත් වෙන උදවිය. ඒ නිසා ඒ වගේ චෝදනාවක් අපිට දරා ගන්න බැරි වුණා. ඒක ලැජ්ජාවක්, දරුවෝ මම සමාජය මුහුණ දෙන්නේ කොහොමද කියලයි අපි එදා හිතුවේ. කටකතා, මඩ ප්‍රචාර වගේ දේවල් අපිට නුහුරු දේවල්. නමුත් නලීන් හරි සාමකාමිව ඒ වගේ දේවල් විදදරාගෙන ප්‍රශ්න වලට මුහුණ දෙනවා. එයා කිව්වේ අපි වරදක් කරලා නැහැ ඒ නිසා ඒ ගැන හිතන්නේ නැතුව ජිවත් වෙන්න කියලයි. ඒ වගේ දේවල් වෙනකොට මම නලීන්ට බනිනවා දේශපාලනයට ආව නිසා තමයි ඒ වගේ කතා අහන්න සිද්ධ වුනේ කියලා. එයා නම් හිනා වෙලා පාඩුවේ ඉන්නවා.
ඔහු දේශපාලනය එක්ක කාර්යබහුල වෙද්දී ඔබ කුටුම්භය රැකගන්න මහන්සි වෙනවා ඇති..?
අපේ ලොකු පුතා සාමාන්‍ය පෙළ සඳහා සුදානම් වෙනවා. එයාගේ නම ලුන්මින් බණ්ඩාර, දෙවැනි පුතා නවය වසරේ ඉගෙන ගන්නේ. එයාගේ නම මිහින් බණ්ඩාර. නලින් දේශපාලනය එක්ක කාර්යබහුල වෙද්දී සම්පුර්ණයෙන්ම පවුලේ වැඩ බලාගන්න වෙන්නේ මට. දරුවෝ දෙන්නාගෙ වැඩ හා පවුලේ වැඩ මගේ අතින් වෙන්නේ.
පුත්තු දෙන්නෙක් ඉන්න නිසා පියා වගේ ඒ දෙදෙනාත් දේශපාලනයට සම්බන්ධ වෙන්න කැමැත්තෙන් ඇති..?
තාත්තා දේශපාලනයට සම්බන්ධයි කියලා තේරුම් ගන්න වයස්වල ඒ දෙන්නා ඉන්නේ. ලොකු පුතා නම් හරි කැමතියි තාත්තගේ දේශපාලන ගමනට නමුත් මේ දෙන්නා දේශපාලනයට සම්බන්ධ වෙයි කියලා දැන්ම හිතන්න අමාරුයි. දෙන්නම දේශපාලනය ගැන කතා නොකරන නිසා.